අතීතයේදී විජයරාජ පුර, ජනනාථ පුරම්, ජනනාථ මංගලම් වශයෙන් හැඳින්වුණු පොළොන්නරුව, රාජධානියක් ද විය. ආක්රමණිකයන් පලවා හැර පළමු වැනි විජයබාහු රජු 1070දී පොළොන්නරුව අගනුවර කරගත් බව ඉතිහාසයේ දැක් වේ. ඔහුගෙන් පසුව පොළොන්නරුව රාජධානිය කරගත් මහා පරාක්රමබාහු රජු, රට සමෘද්ධිමත් කළ පාලකයා හැටියට හඳුන්වන්නට පුළුවන. පරාක්රමබාහු රජුගෙන් පසු පොළොන්නරුව රාජධානිය බවට පත් කර ගත් නිශ්ශංක මල්ල රජු, සාර්ථක පාලකයෙක් විය. ඉන් පසුව, සාර්ථක පාලකයකු එහි බිහි වූයේ නැත. පසු කලෙක රාජධානිය පොළොන්නරුවෙන් දඹදෙණියට මාරු විය.
බෞද්ධ ගෘහ නිර්මාණ, බෞද්ධ කලා නිර්මාණ මෙන් ම, හින්දු ගෘහ නිර්මාණ සහ හින්දු කලා නිර්මාණ ද, පොළොන්නරුවේ නටබුන් අතර දැකිය හැකි ය. පොළොන්නරුවට හින්දු ආභාසය ලැබුණේ, සොලී ආක්රමණ නිසා ය. ගල් විහාරය, පොත්ගුල් වෙහෙර, පොළොන්නරුවේ වටදාගෙය, රැස්වීම් ශාලාව, සත්මහල් ප්රාසාදය, රන්කොත් වෙහෙර, හැටදාගෙය, පැරකුම්බා පිළිමය, විජයන්ත ප්රාසාදය ආදී ස්ථාන පොළොන්නරුවේදී ඔබට දැක බලා ගන්නට පුළුවන. පොළොන්නරු දිස්ත්රික්කය තුළ සංචාරය කරන කෙනකුට, දිඹුලාගල, මැදිරිගිරිය, නාමල් පොකුණ, සිළුමිණ සෑය, මාදුරු ඔය,තොප්පිගල, ගිරිතලේ, ඇලහැර සහ කලහගල යන පෞරාණික ස්ථානවලට ද පිවිසිය හැකි ය.
interest
ReplyDelete