බැද්දගාන උද්භිද උද්‍යානය
කොළඹ කිට්ටුවම තියෙන ලස්සන තෙත් බිම්වලින් එකක්. පිහිටල තියෙන්නෙ පිටකෝට්ට, බැද්දගානෙ. ජලාශ්‍රිත කුරුල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා ගියපු මේ තෙත් බිම ෆොටෝග්‍රැෆර්ස්ලට නම් කියාපු තැනක්. පෞද්ගලික බෝට්ටුවක් එහෙම තියෙනව නම් කැමරා බඩු ටිකයි තව යාළුවෙක්වයි එහෙමත් දාගෙන රවුමක් ගිහිල්ල එන්න පුලුවන්. ඇත්තටම මේ තැනේ ලස්සන තියෙන්නෙ උදේටත් වැඩිය හවස් ජාමෙට. ගෙම්බන්ගෙ, රැහැයියන්ගෙ සද්දෙට මැදි වෙලා, ඉර බැහැගෙන යන හැන්දෑවක හුදකලා වෙන්න, කොළඹ කිට්ටුව මේ තරම් හොඳ තැනක් තවත් නැතුව ඇති.
මුතුරාජවෙල උද්භිද උද්‍යානය
මේ අනික් තැන. ගොඩ දෙනෙක් හොඳ හැටි දන්නවත් එක්ක. වැඩේ කියන්නෙ මේකෙ ඉමක් කොනක් ලේසියට හොයා ගන්න බෑ. ඒ වගේම තමයි ජෛව විවිධත්වයත්. ජලාශ්‍රිත කුරුළු විශේෂ වගේම වර්ග කීපයක උකුසු, රාජාලි විශේෂ එහෙමත් දැක බලා ගන්න පුලුවන්. එ් හැරුනාම ලොකු උභය ජීවී විවිධත්වයකුත් තියෙනව. හැබැයි ඉතින් මුතුරාජ වෙලේ බෝට්ටු පදින්න නම් අවසර ගන්න වේවි මගෙ හිතේ. හැරත් ඒ කිට්ටුව පාතින් විඩා නිවන් හෙවණක් හොයා ගන්නත් ටිකක් අමාරු නිසා හොඳම වැඩේ තමයි උදේ වරුවක් හරි හවස් වරුවක් හරි විතරක් අල්ලල යන එක.
ඔන්න තියෙනව නිදහසේ ගිහින් නාලා කරල, කෑම ටිකක් කාලා, සිංදුවක් එහෙමත් කියල, විනෝද වෙලා එන්න කියාපු තැනක්. යන්න තියෙන්නෙ කොළඹ, අවිස්සාවේල්ල පාරෙ පුවක්පිටිය පාළම ළඟට. ඊට පස්සෙ, පාළමෙන් එගොඩ වෙලා තුම්මෝදර පාරෙන් හේවාඉන්න පැත්තට යද්දි කාගෙන් හරි ඇහුව නම් කුමාරි ඇල්ල කොහෙද කියල පෙන්නාවි. වටේටම තියෙන්නෙ රබර් කැලේ. එහෙමයි කියල සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගෙ අඩුවක් නෑ. වැඩේ කියන්නෙ ඒ අඩු වුණත් දවස ගාණෙ නාන්න, විනෝද වෙන්න එන කට්ටිය සෙට්වලින් නම් කොහොමත්ම අඩුවක් නෑ. කුමාරි ඇල්ල උඩ වගේම පාමුලත් සෙට් වෙන්න ඉඩ කඩ තියෙනව. ඒ නිසා ඔයාලත් අවුලක් ගන්න ඕන නෑ හොඳද
හයිලෙවල් එකේ මීපෙ, ඉංගිරිය පාරෙන් හොරණ රත්නපුර පාරට දාගෙන රත්නපුර පැත්තට යද්දි තමයි පරවිතොට හංදිය හමුවෙන්නෙ. එතනින් පරවිතොට පාර දිගේ ඉස්සරහට යද්දි කාගෙන් හරි පොඩ්ඩක් ඇහුව නම් නාන්න තැනක්, ඕන තරම් කියාවි. මේ හරිය නම් ගොඩක් දුරට ස්වභාවික වනාන්තරය. කුරුල්ලො විතරක් නෙවෙයි මීමින්නො, ඉත්තෑවො, හඳුන් දිවියො එහෙමත් එමටයි. සද්ද නොකර, හෙවිල්ලෙන් බැලිල්ලෙන් හිටිය නම් සතෙක් සීපාවෙක් බලා ගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. හැබැයි එහෙම ආසාවක් නැත්නම් පරිස්සමට නාලා කරල, කෑම ටිකක් එහෙම කාලා එන්න පුලුවන්. ඒත් එකක් මතක තියා ගන්න. ගොඩක් වෙලාවට ඔතන, කට්ටිය ‘සෙට්’ වෙන නිසා අහක යන නඩු පත්තු වෙන්න ඉඩ තියෙනව, කල්පනාවෙන් හරිද.
නාච්චිමලේ
නාච්චිමලේ තියෙන්නෙත් පරයිතොට කිට්ටුවම තමයි. පරයිතොට පාරෙ කෙළවරටම වගේ යන්න ඕන. හොඳම වැඩේ තමයි යන ගමනෙ කාගෙන් හරි අහන එක. මෙතනයි එතනයි කියල ලොකු වෙනසක් නෑ. හොඳට මතක තියා ගන්න මොන දේ කළත් මීටරෙන් හොඳද.
ගලගෙදියන ඇල්ල

හරි ලස්සන දිය ඇල්ලක්. වටපිටාවත් කුරුලු හඬින් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නෙ. සතා සීපාවා එහෙමත් දැක බලාගන්න බැරි කමක් නෑ. හැබැයි නාන්න යන කොට නම් පරිස්සමෙන්. ‘වළ ගැඹුරුයි, බලා ගෙනයි, මළොත් කවුරුත් වග කියන්නෙ නෑ’
ගලගෙදියන ඇල්ල පිහිටල තියෙන්නෙ ගලපිටමඩ, දැදිගම පැත්තෙ. හරියටම කොට වෙහෙර දාගැබට කිට්ටුව. කොළඹ ඉඳන් යනව නම් පැය දෙක හමාරක් වගේ යාවි. ඔන්න මේ ගමනෙදිත් කට්ටිය මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනව. ඒ තමයි පුලුවන් තරම් මත්ද්‍රව්‍ය, මත්පැන් ගෙනියන එක අඩු කරන්න. මොකද ඔය බීලා, පිස්සු කෙළල නාන්න යන කට්ටියට මේ පැත්තෙ පරිසරයෙන් ඒ හැටි සමාවක් ලැබෙන්නෙ නෑ.
රිකිල්ලේ ඇල්ල
තවත් ලස්සන ඇල්ලක්. පිහිටල තියෙන්නෙ බුලත්කොහු පිටිය, දේදුගල කිට්ටුව. කොළඹ ඉඳන් යනව නම් පැය 3ක් විතර යාවි. මේ ඇල්ල කිට්ටුවටම යනකම් වාහනෙන් යන්න පුලුවන් නිසා ලොකු අවුලක් නෑ. හැබැයි නාන්න කරන්න යද්දි ටිකක් පරිස්සමට. මොකද මේ දවස්වල කඳුකරයට වහින වැස්ස නිසා ඇල්ලෙ වතුර වැඩි වෙලා ලස්සනට පෙනුනට, ඒ වතුර පාරෙ සැර නාන්න යන කට්ටියට නම් දරා ගන්න බෑ. කොහොම වුනත් මේ පැත්තෙ තෙත් කලාපිය හුරුවක් තියෙන කුරුලු විශේෂ වගේම සර්ප විශේෂ එහෙමත් ඉන්න නිසා කැමරාවක් නම් ගෙනියන්න අමතක කරන්න එපා.
වදාකඩ ඇල්ල
වැස්ස කාලෙට පට්ට ලස්සන දිය ඇල්ලක්. සුදු පෙණ කැටි තොග ගණන් විහිදව විහිදව හරි අපූරුවට ගලාගෙන යනව. ඒ නිසාම කාගෙන් වත් අහන්නෙ නැතුව එක පාරට නාන්න බහින්න එපා. මොකද ගියොත් ගියාම තමයි. අවට පරිසරයෙ සුන්දරත්වය ගැන නම් ඒ හැටි කියන්න දෙයක් නැති වුණා ට මොකද වදාකඩ ඇල්ලෙ ගල් තලාවක් උඩට වෙලා හවස් ජාමෙට පොඩි සිංදුවක් කියල, විනෝද වෙන එක නම් මරේ මරු.
තුල්හිරිය, අලව්ව පැත්තෙන් තමයි වදාකඩට යන්න තියෙන්නෙ. ගමට ගිහින් කාගෙන් හරි පාර අහගන්න එක තමයි හොඳම වැඩේ. ඔන්න ඇල්ලෙ විස්තර අපි කියපු නිසා එතනින් එහාට අරව කරන්න, මේවා නොකරන්න කියල අපි කියන්නෙ නෑ. ඔයාලම හිතල බලල කරන්න.
හැබැයි ඒ විතරක්මත් මදි. ඔය කොහේ ගියත්, වට පිටාවෙ තියෙන නොදිරන දේවල් එකතු කලත් නොකලත්, අඩුම තරමෙ තමන් ගෙනියන කුණු ජරාව ටිකවත් අරන් ආවොත් හැමෝටම යහපතක් වේවි!
-yamu.lk-
No comments:
Post a Comment