Wednesday, January 27, 2021

පුංචි දඹදිව



 රත්නපුර සිට සිරිපාගම පාරේ මල්වලට පැමිණ දකුණට හැරී වේවැල්වත්ත පාරේ ගලබඩ හන්දිය දක්වා ගමන් කොට වමට ඇති පාරේ කි.මී.8ක් ගිය විට "පුංචි දඔදිව විහාරය" හමුවේ.

වර්ෂ 1981ක් වූ අප්‍රියෙල් මස 14 වන දින ගලබඩ රාජ්‍ය වැව්ල්ලේ ලදුකැළෑ බිමකට වැඩම කළ පූජ්‍ය ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ අවට ගම්වාසීන්ගේ සහය ඇතිව වල් සෙවිලි කරන ලද ඉටි රෙදි වලින් වටකල කුඩා පැල්පතක් තනාගෙන පදිංචි වූ අතර ඒ සමගම ආගමික වතාවත් ඉටුකිරීම සඳහා කොළ අතු සෙවිලි කළ ධර්ම ශාලාවක් තනා එහි ප්‍රථම පින්කම් උත්සවය වර්ෂ 1981ක් වූ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දින සිදු කරන ලදී. පළමු පිංකමට විශාල පිංවතුන් පිරිසක් එක්රැස් වූ අතර දිනෙන් දින පොදු මහජනතාවගේ ඇල්ම බැල්ම වැඩිවෙමින් පවතින මේ පුංචි විහාරස්ථානයේ ස්ථිර ධර්මශාලා මන්දිරයක් ගොඩනැඟීම ආරම්භ කරන ලදී. එම ධර්මශාලා මන්දිරය අඩි 70ක් දිග අඩි 30ක් පළල ගොඩනැඟිල්ලක් වූ අතර එහි කාමර කීහිපයක් සංඝාවාසයට වෙන් කරන ලදී. වර්ෂ 1982ක් වූ ජුනි මස 03 වෙනි දින ආරම්භ කළ මෙම ධර්මශාලා මන්දිරයේ වැඩ ඉතා ඉක්මනින් අවසන් විය.

කාලයාගේ ඇවෑමෙන් මෙම පුදබිම ඉතා වේගයෙන් දියුණු වූ අතර ලක් වැසියන්ගේ හා ලෝ වැසියන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා ස්ථානයක් බවට පත් විය. මෙම සිද්ධස්ථානය ඉදිවීමේ මූලික අරමුණ වූයේ දඹදිව පුදබිම වන්දනා කරගැනීමට ඇති අපහසුව මතය. මේ අඩුපාඩුව දුරලීම සඳහා පුංචි දඹදිව විහාරස්ථානයේ වැඩ කටයුතු කෙරුණු අතර මේ වනවිටත් එහි ඉදිරි ගොඩනැඟීම් කටයුතු සිදුවෙමින් පවතී. මේ සියලු නිර්මාණයන් අවසන් වූ පසු දඹදිව යාමට නොහැකි අයටද "පුංචි දඹදිව" පුදබිමට පැමිණ සතර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට හැකිවනු ඇත.

1986 ජුනි මස 20 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන ශ්‍රීමතානන් අතින් විවෘත වුණු මෙම විහාර මන්දිරය අවුරුදු 2යි, මාස 10ක් වැනි කෙටි කලක් තුළදී ඉතා උසස් විස්කම් නිර්මාණයක් බවට පත්විය. තිලොවට තිලක වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදා දඹදිව ජේතවනාරාමයේ තනතුරුලාභී අසූමහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන ධර්ම සාකච්ඡා පැවැත්වූ අයුරු විදහා දැක්වෙන අනඟිභවනීය දම්සභා මණ්ඩපයක් ඇතුළුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ මෙලොවට පහළ වී වදාළ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේ දක්වා බුදුරජාණන් වහන්සේලාගේ පිළිරූ ඉදිකර, මෙම විහාර මන්දිරය ඉදිකර ඇත.

මෙම මහා විහාර මන්දිරය මෙසේ හඳුන්වනු ලබන්නේ ගෞතම මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ මෙලොව පහළ වී වදාළ දීපංකර නම් වූ බුදුරජාණන් වහන්සේලා විසි හතර නමකගේ නියත විවරණ ලබන අවස්ථා දැක්වෙන සූවිසි විවරණය විහාර මන්දිරයේ පිට මාලයේ නිරූපණය කර ඇති නිසාය. මෙහි ප්‍රධාන මැද මාලයේ ඇත්තේ තනතුරුලාභී අසූමහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන දඹදිව ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා පවත්වනු ලැබූ අනඟිභවනීය නිර්මාණයයි. ඒ අනුව සූවිසි බුදුන්ගේ ප්‍රතිමාවන් 24ක් අසූමහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා 80ක් යන මේ සියලු ප්‍රතිමා එකම වහලක් යට එකම ස්ථානයක එකම විහාර මන්දිරයක් තුළ නිර්මාණය කර තිබෙන එකම ස්ථානය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ලෝකයේම ඇත්තේ මේ ස්ථානයේ පමණක් නිසාත් "ලෝකයේ ප්‍රථම අසූමහා ශ්‍රාවක පස්විසි බුදු රජ මහා විහාරය" නමින් මෙය හඳුන්වයි.

1993ක් වූ නොවැම්බර් මස 11 වෙනි දින මෙයට මුල්ගල තැබූ අතර 2003 ජූලි මස 06 වෙනි දින ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහමැතිතුමා අතින් මෙම බුදු රජ විහාර භූමියේ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කරන ලදී.මේ සුවිශාල චෛත්‍ය නිර්මාණය සිංහල රජ දවසේ සිට මේ දක්වා සබරගමු පළාත තුළ ඉදි වූ සුවිශාලම චෛත්‍ය වන අතර ශ්‍රී ලංකාව තුළ ඉදිවූ එකම දෙමහල් මහා සෑය බවට පත්වී ඇත මේ සෑ රදුන්ගේ ගර්භය දෙමහල්ය.පහත් බිම් මාලයේ සම්බුදු පියාණන් වහන්සේගේ දස පාරමිතා පුවත් නිර්මාණය කර ඇති අතර ජාතක කතා වස්තු රාශියක් නිර්මාණය කර ඇත.මෙහි උඩු මාලයේ මහා භද්‍රකල්පය තුළ ලොවට පහළ වී වදාළ කකුසඳ බුදුරජාණන් වහන්සේ,කෝනාගම බුදුරජාණන් වහන්සේ,ගෞතම බුදුරජාණන් වහන්සේ, යන සතර බුදුවරයින් වහන්සේලාගේ ප්‍රතිමා සතර ද සධාතුක ධාතු නිදන් කළ චෛත්‍යයද නිර්මාණය කර ඇත.මෙහි වැඩ නිම කිරීමට කෝටි දෙකක් පමණ වැය වී ඇති අතර මෙම දෙමහල් සෑය සිත්ගන්නා සුලු අංගයක් බවට "පුංචි දඔදිව" සිද්ධස්ථානය තුල පත් වී ඇත.

දඔදිව බුද්ධ භූමි මෙන්ම දඔදිව සතර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම පිණිස බෞද්ධයන් තුළ ඇති අභිරුචිය ඉතා ඉහළ වුවද ඒ සඳහා වැය වන මුදල විශාල වන බැවින් එය අසීරු කටයුත්තකි. මෙම අඩුපාඩුව දුටු විහාරාධිපති පූජ්‍ය ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තබන ප්‍රථම පියවර වශයෙන් පිරිනිවන් මංචකය සෑදීමේ කටයුත්තට 2002.05.28 වෙනි දින මුල්ගල තබන ලදී. දඔදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී නිර්මිත පරිවාර විහාරයේදී අනුරූ ප්‍රතිමා වහන්සේ ලෝකයේ දෙවන වරට මෙම පුදබිමේ ඉදි විය. පසුව මෙම පිරිනිවන් මංචක ප්‍රතිමාවේ සිරස් ධාතූන් වහන්සේ නිදන් කිරීම සිදු වූ අතර මෙම පිරිනිවන් මංචක විහාරස්ථානය ඇති වීමෙන් පසු අසූ මහා ශ්‍රාවක බුද්ධ විහාරය, "පුංචි දඔදිව" නමින් භාවිතා කරන්නට විය.

එසේම මෙම විහාරස්ථානයට බුරුම දේශයෙන් වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ වඩා හිඳුවීම පිණිස නව බුද්ධ මන්දිරයක් සාදවන ලදී. මෙම පින් බිමේ ප්‍රධාන විහාර මන්දිරයට ඉදිරියෙන් ශ්‍රී පාදස්ථානය, දිවාගුහා විහාරස්ථානය සහ මෙම ප්‍රදේශය ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කාර්යභාරය දරන දහසක් නයින් සෝවාන් ඵලයෙහි පිහිටුවා ශ්‍රීමත් සුමන් සමන් දෙවියන් වැඩ සිටින දේව මන්දිරය පිහිටා ඇත. දෙමහල් සෑ රදුන් වෙත පිවිසෙන ආරම්භක ස්ථානයේ ඉදිකර ඇති දොළොස්මහේ පහන් ගෙය මුළු පරිසරයම ආලෝකවත් කරමින් නොකඩවා නොනිමී දැල්වෙනු ඇත. මෙම දොළොස්මහේ පහන් ගෙය වටා සිසිල් ජලයෙන් පිරී පොකුණ සිත් ඇදගන්නා සුළුය.

මෙම පුණ්‍ය භූමිය වන්දනා කර ගැනීම සඳහා පැමිණෙන සංඝ රත්නය සඳහා නේවාසික පහසුව පිණිස සිව්මහල් සංඝාවාස ගොඩනැඟිල්ලක් තැනීම දැනට නිමවෙමින් පවතී. එසේම දඹදිව සතර සිද්ධස්ථාන ද ඉදිවෙමින් පවතී. පිරිනිවන් මංචක ප්‍රතිමා වහන්සේගේ අනුරූ ප්‍රතිමා වහන්සේ ඉදිකර අවසන් කර ඇත. බුදුන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ ලුම්බිණි විහාරය, බුද්ධත්වයට පත් වූබුද්ධගයා විහාරය, මංගල ධර්ම දේශනා පැවැත්වූ දඔදිව මිගාදය ඉදිකිරීමේ කටයුතු දැනට නිමවෙමින් පවතී. ශ්‍රී ලාංකික බෞද්ධයන් වන අපට "පුංචි දඔදිව" පූජා භූමිය ඉතා වටිනා සිද්ධස්ථානයකි.


-wikipedia-

No comments:

Post a Comment