Thursday, January 28, 2021

යටත් විජිත යුගයේ බිහිවූ කොළඹ නගරයේ ස්ථාන නාම

 

 චෙක්කු වීදිය (දැන් ශ්‍රී කදිරේසන් වීදිය)


චෙක්කු වීදියට (කොළඹ 13) ඒ නම ලැබී තිබෙන්නේ ද්‍රවිඩ වචනයක්වූ චෙක්කු හෙවත් ඇඹරීමෙන් තෙල් ලබාගැනීම යන්නෙන්. තෙල් හිඳ අලෙවි කිරීමේ ව්‍යාපාරය මෙම වීදිය ආශ්‍රිතව වසර සිය ගණනක් පුරා සිදුවී තිබෙනවා.

සිල්වර් ස්මිත් වීදිය (දැන් ශ්‍රීමත් බණ්ඩාරනායක වීදිය)

කොළඹ 12 අලුත්කඩේ ප්‍රදේශයට ඒ නම ලැබී ඇත්තේ අතීතයේදී සිල්වර් ස්මිත් හෙවත් රිදී භාණ්ඩ සාදන්නන් එම වීදියේ සිය කර්මාණ්තය සිදුකල නිසා බව කියවේ.

බංගසාල වීදිය

1505 පෘතුග්‍රීසින් පැමිණෙන විට කොළඹ වරාය අසල තිබූ කුඩා නගරයේ බඩු ගබඩා තිබූ වීදිය බංග්සල් (bangsal - ගබඩා) වීදිය හෙවත් බංගසාල වීදිය වූ බව පැවසේ. කෙසේ වෙතත් බංග්සල් යනු පෘතුග්‍රීසි වචනයක් නොව එය ඉන්දියාවෙන් පෘතුග්‍රීසීන් අහුලාගත් වචනයක් බව පැවසේ. 

තවත් මතයක් නම් බංග්සල් යනු ජාවා-මැලේ යනු වචනයක් බවයි. එහි තේරුමද ගබඩා යන්නයි.

මිලාගිරිය

බම්බලපිටියේ මිලාගිරිය ස්ථාන නාමය පෘතුග්‍රීසි ආභාශයෙන් බිහිවුනා. පෘතුග්‍රීසීන් ගොඩනැගූ Nos Señora dos Milagres (Our Lady of Miracles) නම් රෝමාණු කතෝලික දේවස්ථානය  පිහිටි ප්‍රදේශය මිලාග්‍රේස් වලින් සිංහලට අනුවර්තනයවී මිලාගිරිය නම්වුනා. 

දැන් මිලාගිරියේ ඇති ඇන්ග්ලිකන් නිකායට අයත් සුප්‍රකට ශාන්ත පාවුලු දේවස්ථානය, නො සෙනොරා දෝ මිලග්‍රේස් දේවස්ථානය පිහිටි භූමියේ ඉංග්‍රීසීන් විසින් ගොඩනගා තිබෙනවා



ග්‍රෑන්ඩ්පාස්

පෘතුග්‍රීසි පාලන සමයේ ග්‍රැන්ඩෙ පාසා (Grande Passar-great pass) ලෙසින් මෙම පෙදෙස හඳුන්වා ඇති අතර ඕලන්ද සමගේ ගෲටෙ පාස් (Groote Pas) ලෙසත් පසුව ඉංග්‍රීසීන් විසින් පහසුව සඳහා ග්‍රෑන්ඩ්පාස් ලෙසත් අනුවර්තනය කරගෙන තිබෙනවා.

පෘතුග්‍රීසි භාශාවෙන් ග්‍රැන්ඩෙ පාසා යනු great pass හෙවත් ප්‍රධාන එතරවීම ලෙස සැළකිය හැකිය. එසේ නම්කරන්නට හේතුව ග්‍රෑන්ඩ්පාස් හි නාගලගම් වීදිය කෙලවර වන කැළණි ගං ඉවුරේ, ගඟ හරහා පෑලියගොඩ දෙසට එතර වන ප්‍රධාන තොටුපොල පිහිටා තිබීම නිසාය. මෙම තොටුපල පැරණි වික්ටෝරියා පාලමට මදක් ඈතින් තිබූ බවට අනුමාන කරනවා.

පැස්බෙටල් වීදිය

දැන් මට්ටක්කුළිය-මුට්වාල් ප්‍රදේශයේ ශ්‍රී වික්‍රම මාවත එකල පැස්බෙටල් මාවත (Pasbetal Street) ලෙස හැඳුන්වුනා. ශ්‍රී වික්‍රම මාවතද කැළණි ගංඟ අසලටම යන අතර එම ස්ථානයේදී පෘතුග්‍රීසි සමයේදී තවත් තොටුපොලක් පිහිටා තිබුණා. අනෙක් පසින් පිහිටි වත්තල ප්‍රදේශයට බෝට්ටු සේවයක් තිබූ අතර වත්තල දෙසට එතර වන ස්ථානය හෙවත් පාස් වත්තල Pas Wattala යන්නෙහි පෘතුග්‍රීසි උච්චාරණය ලෙස පාස්බීටල් ලෙස නම් වුනු බව දක්වනවා. පැස්බෙටල් යන්නෙහි තවත් අර්ථකතනයක් වන්නේ බෝට්ටුවෙන් එතර වන ස්ථානය, Pass Boat  හෙවත් පැස්බීටල් වුනු බවයි.

වුල්ෆෙන්ඩාල් (ආදුරුප්පු වීදිය)

ඕලන්ද යුගයේ කොළඹ කොටුවට එපිටින්  කොළඹ වරාය හොඳින් පෙනෙන උස් භූමියක පෘතෘග්‍රීසි නාවිකයින් විසින් ඉදිකරන ලද කුඩා දේවස්ථානයක් වූ අතර ඒ අවට වගුරු බිමෙහි විශාල සිවලුන් රංචු සිටි නිසා, ඔවුන් වෘකයින් ලෙස වරදවා වටහාගත් පෘතුගීසීන් එම පෙදෙස ඇගුවා ඩෙල් ලෝබෝ (água del lobo - වෘකයින්ගේ වගුරුබිම) ලෙස නම්කලා. 

පෘතුග්‍රීසීන් පලවා හැර ලංකාව අල්ලාගත් ලන්දේසීන් එම තේරුමම දෙන වුෆෙන්ඩාල් (wolfendaal) ලෙස එම පෙදෙස නම්කලා. එවක ලංකාව ලන්දේසීන්ගේ Dutch East India Company (VOC) සමාගම මගින් පාලනය කල අතර පෘතුග්‍රීසීන්ගේ කුඩා දේවස්ථානය පිහිටි වුෆෙන්ඩාල් කන්දේ අලංකාර ඕලන්ද රෙපරමාදු දේවස්ථානයක් ඉදිකිරීම 1749 අරඹා 1758දී අවසන් වුනා.

මාලිගාකන්ද හා මාලිගාවත්ත

1587දී සීතාවක රාජසිංහ නරේන්ද්‍රයාණෝ (පලමු රාජසිංහ) කොළඹ පෘතුග්‍රීසි බළකොටුව වටකොට පහරදුනි. මාස නවයක් පුරා කාළතුවක්කු 150කින් හා ඇතුන් 120කින්ද සපිරි 60,000 දහසක සේනාවක් බළකොටුව වටලාගෙන සිටියද පෘතුග්‍රීසීන් යටත් කරගැනීම අපහසුවිය.

සීතාවක රාජසිංහ රජුගේ තාවකාලික වාසස්ථානය වූයේ කොළඹ කොටුවට මදක් ඈතින් වූ උස්බිමකි. රජුගේ වාසභූමිය බවට පත්වූ මේ කඳුගැටය පිහිටි පෙදස මාලිගාකන්ද විය. මාලිගාකන්දේ පිහිටි තාවකාලික රජමාලිගාව වටා පෙදෙස මාලිගාවත්ත නම් විය.

හල්ෆ්ස්ඩෝර්ප්

1655 ඔක්තෝම්බරයේදී ලන්දේසීන්ගේ (ඕලන්දක්කාරයින්) නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම හෙවත් VOC (Vereenigde Oost-Indische Compagnie) සමාගමේ කුලීහේවායින් 11,000ක් දෙවැනි රාජසිංහ රජුගේ 16,000ක හේවා බළඇණියක් සමග පෘතුග්‍රීසීන්ගේ කොළඹ කොටුව යලිත් වටකර ගත්තෝය. ලන්දේසි බළඇණියේ නායකයා ජෙනරාල් පීටර්සූන් හල්ෆ්ට් වූ අතර ඔහු නිරීක්ෂණ චාරිකාවක් සඳහා බළකොටුවේ බටහිර පෙදෙසේ සිටිද්දී පෘතුගීසි වෙඩික්කරුවෙකු තැබූ වෙඩිල්ලක් පපුවේ වැදී එතනම මිය ගියේය. ජෙනරාල් හල්ෆ්ට්ගේ නිවස්නය හා අණදෙන මූලස්ථානය තිබූ කුඩා කඳුගැටය ඔහු සිහිවීම සඳහා ලන්දේසීන් විසින් හල්ෆ්ට්ස්-ඩෝර්ප් හෙවත් හල්ෆ්ට්ගේ ගම්මානය යන නමින් හඳුන්වන්නට පටන්ගත්තේය.

ජින්තුපිටිය

ජින්තුපිටිය පෙදෙස වුල්ෆෙන්ඩාල් පල්ලියේ සිට සිට කිලෝමීටර් භාගයක් පමණ ඈතින් පිහිටි ස්ථානයකි. ගූගල් සිතියම් අනුව වුල්ෆෙන්ඩාල් පල්ලිය පිහිටි පෙදෙස පවා අයත්වන්නේ ජින්තුපිටියටයි.

ජින්තුපිටිය පෙදෙසට ඒ නම ලැබී ඇති අන්දමද රසවත් කතාවකි. ජින්තුපිටිය පෙදෙස අත්පත්කරගෙන සිටි පෘතුග්‍රීසීන් එහි තිබී පුරාතන පර්සියානු අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි නිකායක්වූ නෙස්ටෝරියානු නිකායේ සළකුණු සහිත කුරුසියක් සොයාගෙන තිබෙනවා. එනිසා ඔවුන් එම ස්ථානයේ සැන් තොමේ හෙවත් සාන්ත තෝමස් ශාන්තුවරයා වෙනුවෙන් කුඩා පල්ලියක් ගොඩනගා තිබෙනවා.

සැන් තෝමේ පල්ලිය පිහිටි එලිමහන් පෙදෙස එකල එහි විසූ සිංහලයන් විසින් සැන්තොමේ පිටිය ලෙස හඳුන්වා තිබෙනවා. පෘතුග්‍රීසීන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන් සිය රෙපරමාදු ක්‍රිස්තියානි ආගමට නොගැලපෙන මේ පල්ලිය බිඳදමා එම පල්ලිය අවට පෙදෙස කනත්තක් බවට හරවා තිබෙන අතර එම කනත්තේ රෙපරමාදු ක්‍රිස්තියානි භක්තිකයින් නොවන, එනම් විශ්වාස නොකරන්නන් (non believers) සඳහා වෙන්කොට තිබෙනවා. විශ්වාස නොකරන්නන් ලන්දේසි බසින් ජෙන්තියෝ ලෙස හඳුන්වන අතර ජෙන්තියෝ වලලා ඇති පිටිය ජෙන්තියෝ පිටිය හෙවත් පසුකලෙක ජින්තුපිටිය බවට පත්වූ බව විශ්වාස කෙරෙනවා.

අලුත්මාවත

කොළඹ වරායේ ජැටිය අසල සිට කැළණි ගඟ මෝය දක්වා දිවෙන පාර අලුත්මාවත ලෙස හඳුන්වනවා. මේ අලුත්මාවතට නම ලැබුනේ ඕලන්ද ආණ්ඩුකාර පෙට්‍රස් වූයිස්ට්  විසින් අලුතින්ම ගල් අතුරා සකසන ලද අලුත්ම පාරක්වූ නිසා බවයි පැවසෙන්නේ. ඕලන්ද යටත්විජිතයක්වූ ලංකාවට පත්කර එවන ලද 20 වැනි ආණ්ඩුකාරවරයා වූ  පෙට්‍රස් වූයිස්ට් කෲර පාලකයෙකු වූවා. 

ඔහු අතින් බොරු චෝදනා එල්ලවී මරණයට පත්වූයේ ස්වදේශිකයින් පමණක් නොවේ. ඕලන්ද VOC පාලනයේ නිළධාරීන් හා ලංකාවේ පදිංචියට පැමිණ සිටි ඕලන්ද ජනපදිකයින්ද මොහුගේ ද්වේෂයට බඳුන්වී මැරුම්කෑවා. වසර 3ක කුරිරු පාලනයකින් පසු පෙට්‍රස් වූයිස්ට් VOC සමාගමේ මූලස්ථානය වූ ඉන්දුනීසියාවේ බැටාවියාවට ආපසු කැඳවූ අතර එහිදී නඩු විභාගයකින් පසුව හිසගසා මරණයට පත්කොට තිබෙනවා.

විස්ට්වයික් පාර

අලුත් මාවතට සමාන්තරව දිවෙන විස්ට්වයික් පාර, ආන්ඩුකාර වූයිස්ට්ගේ මෝදර පිහිටි නිවෙස වෙත යන මාවතයි. වූයිස්ට්ගේ ගම හෙවත් වූයිස්ට් වයික් ලෙස හැඳුන්වුනු මේ පෙදෙස පසුකලට විස්ට්වයික් ලෙස ජනවහරට එක්වී තිබෙනවා.

රාස්සමූණ කන්ද (දැන් විස්ට්වයික් ක්‍රීඩාංගණය ) 

නූතනයේ විස්ට්වයික් ක්‍රීඩාංගණය බවට පත්ව ඇති රාස්සමූණ කන්ද  පිහිටි ස්ථානය, 1726 සිට 1729 දක්වා ඕලන්ද (ලන්දේසි ) ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල පෙට්‍රස් වූයිස්ට් සිය මන්දිරය සාදාගත් ස්ථානය ලෙස සැලකෙනවා.

කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 6ක් පමණ ඈතින් මෝදර ප්‍රදේශයේ මෙය පිහිටා තිබෙන අතර එම පෙදසට වූයිස්ට් වයික් - වූයිස්ට්ගේ ගම යන්නෙන් බිඳුනු විස්ට්වයික් යන්න භාවිතා කරනවා.

එම ස්ථානය එකල කරත්තවලට පවා යන්නට නොහැකි අසුපිටින් පමණක් යාහැකි ස්ථානයක් වූ අතර එතැනට ලඟාවීමට පෙට්‍රස් වූයිස්ට් ඕලන්ද VOC සමාගමේ වියදමින් ගල් අතුරා අලුත්ම පාරක්ද තැනෙව්වා. අලුතෙන් සෑදූ නිසා මෙම මාවත අදටත් අලුත්මාවත ලෙස හඳුන්වනවා. 

තම නිවසේ සිට පවා කොළඹ වරායේ නාවික කටයුතු නිරික්ෂණය කල හැකි ස්ථානයක් තමා තෝරාගත් බව, ඔහු ඒ සඳහා සිදුකල වියදම් සාධාරණීකරණය කිරීමට එවක VOC සමාගමේ මූලස්ථානයවූ ඉන්දුනීසියාවේ බැටාවියා (දැන් ජකාර්තා) නුවරට වාර්තා කලා. ඕලන්දයේ ඉතා ධනවත් හා බළවත් පවුලකින් සිය විවාහය කරගෙන සිටි පෙට්‍රස් වූයිස්ට් හට තරුණ වයසේදීම ලංකාවේ ආණ්ඩුකාරතැන ලැබුනේද ඇයගේ පවුල් පසුබිම නිසාමයි.

ඉතාමත් කෲර පාලකයෙකුවූ වූයිස්ට් සිය වසර තුනක පාලනකාලයෙන් පසු බැටාවියාවට කැඳවා මරණ දඬුවම දී තිබෙනවා.

තනතුරෙන් පහකිරීමෙ පසු ඔහුගේ නිවසට යාබදව ස්ථානයක මිනී ඇටකටු රාශියක් රහසේ වලදමා තිබියදී හමුවූ අතර ඒවා කාගේද, කෙසේ ඔවුන්ගේ මරණය සිදුවූයේද යන්න අභිරහසක්. 

මේ පිලිබඳව 1847දී පමණ ගවේෂණයක් සිදුකල ලංකා-බර්ගර් ජාතික John Leonard Kalenberg van Dort එම පෙදෙසට ගොස් ජරාවාස වූ එම නිවෙස පරික්ශාකර තිබෙන අතර එම පෙදෙසේ ජනයා අඳුර වැටුන පසු වූයිස්ට්ගේ නිවස ඇති පෙදෙසට යන්නට පවා බිය බවත්, එම නිවස ඇති කන්දේ මිනීකන රාක්ෂයෙක් සිටින බවටත් දැඩි ලෙස විශ්වාසකොට තිබෙනවා.

මෙහි සත්‍යය කෙසේ වෙතත් දැන් අනුමාන කෙරෙන්නේ පෙට්‍රස් වූයිස්ට් සිය කෘර පාලනයට අමතරව තවත් බිහිසුණු රහසක් සඟවාගෙන සිටි බවයි. එනම් ඔහු මිනීමස් කෑමට රහසින් ඇබ්බැහිවූ පුදගලයෙක් බවයි. ඔහුට මැලේ ජාතික (සමහරවිට වූයිස්ට් ඉන්දුනීසියාවෙන් එනවිට ගෙන ආ ඉන්දුනීසියානු ජාතිකයෙකු විය හැකියි ) කෝකියෙකු සිට ඇති අතර ඔහු සිය ස්වාමියා වෙනුවෙන් රාත්‍රියේ අවට ගම්මානවලට රිංගා මිනිසුන් මරාගෙන විත් මිනීමස් පිස දුන් බවට සැකයක් තිබෙනවා.

වූයිස්ට් එහි පදිංචියට ආ සමයේ සිටම රාත්‍රියේ ගමන් බිමන් යන ගම්වැසියන් අතුරුදහන් වීමද සිදුවී තිබෙනවා. එමන්ම වූයිස්ට්ගේ මන්දිරය අසලින් වලදමා තිබී හමුවූ ඇටකටු එලෙස අතුරුදහන්වූ පුද්ගලයන්ගේ විය හැකි බවට වාර්තා තිබෙනවා.

බ්ලූමැන්ඩල්

බ්ලූමැන්ඩල් (Bloumendhal) ලෙස අද හඳුන්වන, සුගතදාස ක්‍රීඩාංණයෙන් උතුරට ඇති ප්‍රදේශය ලන්දේසි යුගයේදී මල්ගස්වලින් ගහණ, නිතරම මල් පිපී ඇති පෙදසක්වූවා. මල් පිපී ඇති නිම්නය හෙවත් බ්ලූමන්ඩාල් (bloemendal) ලෙස ලන්දේසීන් මෙය හඳුන්වන ලද අතර එම නම අදත් භාවිතා වෙනවා. 

පෙටා හෙවත් පිටකොටුව

පෘතුග්‍රීසීන් තනා ලන්දේසීන් ව්‍යාප්ත කල කොළඹ බළකොටුව තුලවූ ඇතුලු නගරය, කොටුව හෙවත් ෆෝට් ලෙස හඳුන්වන අතර කොටුවෙන් එපිට පෙදෙස පිටකොටුව ලෙස ව්‍යවහාර වෙනවා. ගාළු කොටුව මෙන් කොළඹ කොටුවේ කොටුබැම්ම දකින්නට නොමැත්තේ කොළඹ නගරය පුළුල් කිරීමේදී බ්‍රිතාන්‍යයන් එම කොටුබැමි ගලවා එම ගල් වෙනත් ඉදිකිරීම් වලට යොදාගත් නිසායි.

සිංහලෙන් පිටකොටුව යන්න කොටුවෙන් එපිට නගරය හැඳින්වීමට භාවිතා කලත්, ඉංග්‍රීසීන් භාවිතාකල පෙටා යන්න "පිටකොටුව" යන වචනය ඉංග්‍රීසියෙන් උච්චාරණය කිරීමේදී බිඳී හා පදයක් ලෙස සළකන්නේ නෑ.

පෙටා යන යෙදුම ද්‍රවිඩ හා දකුණු ඉන්දියානු භාශාවල පිඩායි හෙවත් බළකොටුවෙන් පිටත නගරය හැඳින්වීමට යොදන වචනයෙන් බිඳී ආ බවත්, පෙටා යන යෙදුම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ ඉන්දියාවේ විවිධ නගරවල තිබූ බළකොටුවලින් පිටත නගරය හැඳින්වීමට බොහෝ සෙයින් යොදාගෙන තිබෙන බවත් පැවසෙනවා.

උදාහරණයක් ලෙස ඔක්ෆර්ඩ් ශබ්දකෝෂය හා මෙරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂය Pettah යන වචනය අර්ථදක්වන්නේ "ඉන්දියාවේ හා ලංකාවේ බළකොටුවකින් පිටත නගරය" හඳුන්වන්නට පැරණි කාළයේ යොදාගත් ඉංග්‍රීසි වචනයක් ලෙසයි.

කයිමන් දොරටුව

අද කොටුවෙන් පිටකොටුවට යාමට ගතවන්නේ මිනිත්තු කිහිපයක් වුනත් පෘතුග්‍රීසි හා ලන්දේසී පාලන කාලයේ කොටුවට ඇතුලුවීම හා පිටවීම විශාල දොරටු මගින් පාලනය වුනා. කොටුවට ඇතුලුවන එක් දොරටුවක් 4වැනි හරස්වීදියේ තිබූ අතර එය කයිමන් දොරටුව ලෙස හැඳින්වුනා. ඒ අසල කෙලින්වීදියට මුහුණලා ඇති කයිමන් කුළුණ මතවූ විශාල ඝණ්ඨාරය ඇඳිරි වැටෙන විට දොරටු වසා දැමීමට පෙර අණතුරු ඇඟවීම සඳහා නාදකලා.

එවක 4වැනි හරස්වීදිය යනුවෙන් පාරක් නොතිබූ අතර ඒ අසලින් සාන්ත ජෝන් නම් ඇළ මාර්ගය ගලා ගියා. සාන්ත ජෝන් ඇලෙන්, එගොඩවීමට පාලමක් තිබූ අතර එම පාලමෙන් එගොඩව කයිමන් දොරටුව හරහා කොටුව ඇතුලුවිය යුතු වුනා.

මෙම පෙදෙසට ලන්දේසීන් කයිමන් යන නම තැබුවේ කිඹුළන් සිටින පෙදෙස ලෙස හැඳින්වීමට. සාන්ත ජෝන් ඇල දෙපස එළවළු හා මස්-මාළු කඩ බහුලව තිබූ අතර එම කඩවලින් ඉවත දමන එළවළු හා මස්-මාළු කොටස් සාන්ත ජෝන් ඇලට විසිකිරීම සිදුවූ අතර ඒවා කා දමමින් සාන්ත ජෝන් ඇලෙහි කිඹුලන් සද්දන්තවූ බවයි ඉතිහාස වාර්තා පවසන්නේ.

කොම්පඤ්ඤවීදිය හා ස්ලේව් අයිලන්ඩ්

අද කොම්පඤ්ඤවීදිය ලෙස සිංහලෙනුත් ස්ලේව් අයිලන්ඩ් ලෙස ඉංග්‍රීසියෙනුත් හැඳින්වෙන්නේ කොම්පඤ්ඤ වීදිය දුම්රිය පොල, ග්ලෙනී වීදිය, නව තොටුපොල පාර හා මිව්ස් වීදියද ඇතුලත් එකම පෙදෙසක් වුනත්, අතීතයේදී එසේ නොවූ බව පැවසෙනවා.

කොම්පඤ්ඤ වීදිය දුම්රියපොල පිහිටි පෙදෙස එනමින් හඳුන්වා ඇති අතර ඒ නමෙහි උප්පත්ති කතා දෙකක් තිබෙනවා. එකක් එම පෙදෙසේ ලන්දේසීන්ගේ (ඕලන්ද) ලස්කිරිඤ්ඤ හමුදා ඛණ්ඩයක් හෙවත් ලස්කිරිඤ්ඤ කොම්පැණියක් (lascarin compagnie) තිබූ නිසා කොම්පැණි වීදිය, කොම්පඤ්ඤ වීදිය ලෙස සිංහලට අනුවර්තනය වීම එක් පුරාවෘතයක් වෙනවා. 

මෙම ලස්කිරිඤ්ඤ හමුදා ඛණ්ඩයේ බැරැක්ක අද මැලේ වීදිය හා කුමාරන් රත්නම් පාර අතර පෙදෙසේ, එනම් දැන් ආරක්ෂක සේවා විද්‍යාලය තිබෙන භූමියේ තිබුණු බවට වාර්තා තියෙනවා. මෙම ස්ථානයේ ඉංග්‍රීසීන් විසින් 1860දී ලංකා රයිෆල් රෙජිමේන්තු බැරැක්ක හා මූලස්ථානය ස්ථාපනය කර තිබෙනවා.

අනෙකට අනුව දුම්රිය පොලට මදක් ඉදිරියෙන් දැන් ජෝන් කීල්ස් වෝටර්-ෆ්‍රන්ට් සංකීර්ණයේ පිවිසුම් දොරටුව හා අනෙක් පසින් ග්ලෙනී වීදියට මායිම්වූ භූමියේ එකල තිබූ කලම්බෝ අයිස් කොම්පැණි අසල තිබුණු වීදිය අයිස් කොම්පැණි වීදිය හෙවත් කොම්පඤ්ඤ වීදිය වූ බව පැවසෙනවා. පසුකලක සිලෝන් කෝල්ඩ් ස්ටෝස් හෙවත් එලිෆන්ට් හවුස් බවට පත්වුනේ 1866දී ඇරඹුන සිලෝන් අයිස් කොම්පැණියයි.
 

දැන් කොම්පඤ්ඤ වීදියට ස්ලේව් අයිලන්ඩ් හෙවත් වහල් දූව ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වුවද ලන්දේසි සමයේ ස්ලේව් අයිලන්ඩ් ලෙස හැඳින්වූයේ ගාලු මුවොදොර අසල බේරේ වැව අසල ඇති එචිලොන් චතුරශ්‍රය පෙදෙස බව පැවසෙනවා. එකල බේරේ වැව ඉතා විශාල වූ අතර ඩාලි පාරේ සාන්ත ජෝසප් විද්‍යාලය, ඉබ්බන්වල හන්දිය, මැකලම් වීදිය වැනි පෙදෙස් වැසීයන තරමටම බේරේ වැව විශාල වුනා.

දැන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා ලංකා බැංකු මූලස්ථානයද පිහිටි එචිලොන් චතුරශ්‍රය එකල බේරේ වැවට නෙරා ගිය අර්ධද්වීපයක් හෝ වඩදිය වේලාවන් හිදී ජලයෙන් වටවෙන දූපතක් වූ බවට බ්‍රිතාන්‍ය සමයේ ලංකාව ගැන ලියූ රචකයින් පවසනවා (James Selkirk, .Alan Walters, R.L Brohier et al)

එකල කෆිර් ලෙස හැඳින්වූ නීග්‍රෝ වහල් ජනයා මෙම පෙදෙසේ රාත්‍රියට කොටුකර තැබූ බවත් ලන්දේසි භාශාවෙන් එම පෙදෙසට කෆීර්ස් වෙල්ඩ් හෙවත් කෆීර්වරුන් සිටින පෙදෙස ලෙස හඳුන්වා තිබෙනවා.

කිව් පාර හා කිව් පැසේජ් (කොළඹ 02)

යුනියන් පෙදෙසේ කොමර්ෂල් බැංකුව වටරවුම අසලින් ආරම්භ වී (කුමාරන් රත්නම් පාරේ ආරම්භයද එම වටරවුම වේ) වටයක් ගසා නැවතත් ආරක්ෂක විද්‍යාලය අසලින් කුමාරන් රත්නම් පාරට එකතුවන කිව් පාරට (හා කිව් පැසේජ් හරස් පාරට) බ්‍රිතාන්‍ය සමයේදී එම නම තබා ඇත්තේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඇරඹීට පෙර “කිව් ගාඩන්ස්” නමින් ලංකාවේ පලමු උද්භිද උද්‍යානය එම පෙදෙස ආශ්‍රිතව තිබූ නිසාය.

බ්‍රිතාන්‍යයන් ලංකාවේ පලමු උද්භිද උද්‍යානයට කිව් ගාඩන්ස් ලෙස නම් තබා ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අගනුවර වූ ලන්ඩනයේ සුප්‍රකට කිව් ගාඩන්ස් රාජකීය උද්භිද උද්‍යානයට ගෞවරයක් ලෙසයි.

1843දී කොළඹ කිව් ගාඩන්ස් උද්‍යානයෙන් ගෙන ආ පැල රෝපණය කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නිළවශයෙන් ස්ථාපනය කර තිබෙනවා.

බගතලේ පාර

බගතලේ පාරට නම ලැබුණු හැටිද අපූරුය. බගතලේ පාර හා ඒපෙදෙසට නම ලැබුනේ බ්‍රිතාන්‍ය යුගයේදීය. එකල කොළඹ යනු විසල් නගරයක් නොව කොටුව හා පිටකොටුවෙන් එපිට ග්‍රාමීය පෙදෙසකි. එහි කුරුඳුවතු බහුල විය. (උදා: කොළඹ කුරුඳුවත්ත ). චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් බ්‍රිතාන්‍යයෙන් මෙරට සිවිල් සේවාවට අනුයුක්තවූ ධනවත් බ්‍රිතාන්‍ය ප්‍රභූවරයෙකු වූ අතර ඔහු ගාලුපාරේ සිට (එකල ගාලු පාර කුඩා කරත්ත පාරක් විය ) රාජකීය/තර්ස්ටන් විද්‍යාල දක්වා පැතුරුණු විශාල කුරුඳු වත්තක් මිළදීගෙන එහි මන්දිරයක් ඉදිකලේය. ඒ මන්දිරයට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් "බගතලේ" යන නම තැබුවේලු. බගතලේ යනු පැරණි ප්‍රංශ ගෘහස්ථ ක්‍රීඩාවකි.

1800 ගණන්වල බ්‍රිතාන්‍ය ප්‍රභූන් අතරද ප්‍රචලිතව තිබූ මේ ක්‍රීඩාවට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ්ගේ තිබූ දැඩි ලොල්බව නිසා සිය නිවස එනමින් හඳුන්වන්නට ඇතැයි සිතිය හැකිය. ඔහුගේ බගතලේ මන්දිරයට ගාලුපාරේ සිට යන මාවත් බගතලේ පාර ලෙස හඳුන්වන්නට පටන්ගත්තේලු.

ඇල්ෆ්‍රඩ් පෙදෙස / ඇල්ෆ්‍රඩ් හවුස් 

බගතලේ මන්දිරය පසුකලෙක යටත් විජිත ලංකාවේ ප්‍රමුඛතම සිංහල කෝටිපතියා හා විශිෂ්ඨ සමාජ සේවකයෙකුවූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා සතුවිය. විශාල තේවතු, පොල් හා කුරුඳු වතු මෙන්ම කර්මාණ්තශාලා හා යටත් විජිත ලංකාවේ බැංකුවල කොටස් හිමියෙකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා කොළඹ "ද සොයිසා" මාතෲ නිවාසය ආරම්භකිරීමට එම භූමිය හා තමන් සතු නිවස පරිත්‍යාග කල අතර, වේල්ස් කුමාර හා වේල්ස් කුමරි විද්‍යාල ආරම්භ කිරීමටද පුරෝගාමී විය. එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහල හා වෙනත් රෝහල් ගණනාවක් ආරම්භ කිරීමට ධනය හා ඉඩකඩම් පරිත්‍යාග කල දානපතියෙකි.

එකල ලංකාවේ ධනවත්ම ලාංකික ප්‍රභූවරයා මෙන්ම දැඩිලෙස බ්‍රිතාන්‍ය කිරුළට පක්ෂපාතවූ චාල්ස් හෙන්රි ද සොයිසා බ්‍රිතාන්‍ය රජපවුල සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වූවා. මේ සබඳකම් නිසාම ලංකාවට පාතැබූ පලමු බ්‍රිතාන්‍ය රාජකීයයා වන වික්ටෝරියා රැජිණගේ පුත් එඩින්බරෝ හි ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු සඳහා රාජකීය භෝජන සංග්‍රහයක් පැවැත්වීමේ වරම දිනාගත්තා.

මේ සඳහා ඔහු බගතලේ මන්දිරය අති විශාල වියදමක් දරා සම්පූර්ණයෙන් නවීකරණය කල අතර නවීකරණය කොට එය "ඇල්ෆ්‍රෙඩ් හවුස්" යනුවෙන් ඇල්ෆ්‍රඩ් කුමරාට ගෞරව පිණිස නම් කලා. එමෙන්ම එම මන්දිරය පිහිටි කුරුඳු වගාව ඉවත්කොට අක්කර එකසිය විස්සක මනරම් උද්‍යානයක්ද සකස් කොට එය ඇල්ෆ්‍රඩ් ගාඩන්ස් ලෙස නම් කලා.

අද බගතලේ පාරට යාබද ඇල්ෆ්‍රඩ් පෙදෙස, ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩන්ස්, ඇල්ෆ්‍රඩ් ඇවනිව් යන පාරවල් හා පෙදෙස් පුරා මේ සුවිසල් උද්‍යානය පැතිර තිබුණා. දැන් ඉතිරිව ඇත්තේ ඒ පාරවල් හා පෙදෙස් නාම විතරයි.

චාල්ස් පෙදෙස / චාල්ස් වටරවුම / චාල්ස් ඇවනියු

ඇල්ෆ්‍රඩ්/බගතලේ මන්දිරය ආශ්‍රිත කොළඹ 3ට අයත් මේ සියලු පෙදෙස් චාල්ස් හෙන්රිද සොයිසාට අයත්ව තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් මේ සුවිසල් ඉඩකඩම් බෙදාහදාගත් ඔහුගේ දරුමුණුපුරන් සිය පරිත්‍යාගශීලී ඥාතියා සිහිවීම පිණිස තමන්ට අයත්වූ කොටස්වලට චාල්ස් නම යොදා තිබෙනවා. 


අලුත්කඩේ

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවධියේදී ඕලන්ද කොටුව - එනම් දැන් කොටුව පෙදෙස - පරිපාලනමය මධ්‍යස්ථානය වූ අතර පිටකොටුව, විශේෂයෙන්ම කොටුවෙන් නැගෙනහිරට එනම් මෝදර (මුට්වාල්) හා ආශ්‍රිත ප්‍රදේශ වේගයෙන් වර්ධනය වන කොළඹ වරාය ආශ්‍රිතව ව්‍යාපාර පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින්ගේ හා ප්‍රභූන්ගේ නිවාස තිබූ පෙදෙසක් විය. උදාහරණයක් ලෙස ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු වූ පෙට්‍රස් වූයිස්ට් ගේ නිවස තිබූ පෙදෙස මෝදර ප්‍රදේශයේ විස්ට්වයික් ප්‍රදේශයයි. වූයිස්ට්ගේ ගම හෙවත් වූයිස්ට් වයික් ලෙස හැඳුන්වුනු මේ පෙදෙස පසුකලට විස්ට්වයික් ලෙස ජනවහරට එක්වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය කාලය වනවිට මෙම පෙදෙස ප්‍රභූ හා ධනවත් ව්‍යාපාරික පැලැන්තිය ජීවත්වූ පෙදෙසක් නිසා මෙහි තිබූ කඩපිල් හා වෙළඳපොලවල් එම පෙදෙසින් ඉවත් කොට හල්ට්ස්ඩ්‍රෝෆ් කඳුගැටය පාමුළ පෙදෙසකට ගෙනගොස් තිබෙනවා. 

අලුතින් කඩ දැමූ ප්‍රදේශය නිසා එම පෙදෙස අලුත්කඩේ ලෙස හඳුන්වන්නට ගත්තා.

මරදාන

සුදුපැහැති, කිසිවක් නොවැවෙන වැලිකතරක් වැනි මරදන් වැල්ල ලෙස ආදී කාලයේ හැඳින්වූ වැලිවලින් ගහන පෙදෙසක් නිසා මරදාන වූ බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් පෘතෘග්‍රීසි-ලන්දේසි සමයේ මරදානේ ඉතාමත් සරු කුරුඳුවගාවක් තිබුණු බවට වාර්තා වෙනවා.

1800 මුල් භාගයේ මෙරට සිටි ජෝන් ඩේවිගේ වාර්තාවලට අනුව, සුදුපැහැති තිරිවාණා වැල්ල ඇති පෙදෙස්වල කුරුඳු සරුවට වැඩෙනවා. එවැනි සුදුපාට, නිසරු මරදන් වැල්ලක් තිබූ මරදානේ පසුවට කුරුඳු වැවී තිබුණා යන්න සැබැවින්ම විය හැකි සිද්ධියක් බව ජෝන් ඩේවීගේ මෙම වාර්තාවෙන් තහවුරු වෙනවා. 

ඉබ්බන්වල

ලන්දේසි යුගයේ හා ඉංග්‍රීසීන්ගේ පාලනයේ මුල් කාළයේදී බේරේ වැව දැනට වඩා විශාල වූ අතර එය නූතන හයිඩ් පිටිය, වොක්ෂෝල් වීදිය, ඩාලි පාර ආදී මාවත් ආසන්නයට පැමිණ තිබුණා. එමෙන්ම මෙම පෙදෙස් ජනගහණයෙන් ඉතා අඩු කැළෑබද පෙදෙස් වුනා. 

ඉබ්බන්වලට ඒ නම ලැබුණේ එම පෙදෙසේ බේරේ වැව ඉවුරේ සිය ගණන් ඉබ්බන් අව්ව තපින්නට එක් රොක්වූ නිසා බව පැවසෙනවා.

කොළඹ ජාතික රෝහල 1864

ඉබ්බන්වල හන්දිය (හයිඩ් පිටිය, කොළඹ 2) සිට ජාතික රෝහලට කිලෝමීටරයකත් අඩු අතර, එම පෙදෙසේ ජාතික රෝහල පිහිටුවීමට බ්‍රිතාන්‍ය පාලකයින් තීරණය කලේ, ඉතා අඩු ජනගහණයක් ඇති, කුරුඳු වගාලක අක්කර 32ක භූමියකයි. බැවින්. ජාතික රෝහල සඳහා අක්කර 32ක කුරුඳු වගාකල ඉඩමක් ලබාදීමට හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා තීරණය කලා. 1864දී වාට්ටු 21ක් සමග ජාතික රෝහල විවෘත වුනා.

අද ජාතික රෝහලේ එක් මායිමක් වෝඩ් ආණ්ඩුකාරයා සිහිවන්නට වෝඩ් පෙදෙස වන අතර කින්සි පෙදෙස හා කින්සි පාර ජාතික රෝහලේ දියුණුවට විශාල මෙහෙයක් ඉටුකල වෛද්‍ය සර් විලියම් කින්සි සිහිවීමට නම්කර තිබෙනවා.

කොළඹ වෛද්‍ය විද්‍යාලය 1870 පිහිටවුනු අතර ඒ සඳහා කින්සි පාරට මුහුණලා, ද සොයිසා මාතෘ නිවාසයට යාබදව ඇති අක්කර තුනහමාරක ඉඩම 1875දී සැම්සන් ද ආබෲ රාජපක්ෂ මුදලිතුමා කොළඹ වෛද්‍ය විද්‍යාලයට දායාදකලා.

සුදුවැල්ල

ඉබ්බන්වල සිට ඩාලි පාර, මැකලම් පාර අවසන්වන තෙක්ම මරදාන දෙසට ඇත්තේ සුදුවැල්ල ප්‍රදේශයයි. සාන්ත ජෝසප් විද්‍යාලය හා නෙළුම් කුළුණද අයත් වන්නේ සුදුවැල්ලටයි. ප්‍රදේශයට සුදුවැල්ල ලෙස නම් ලැබුණේ සුදු පැහැති තිරිවාණා වැල්ලෙන් වැසී තිබීම නිසා බවයි පැවසෙන්නේ. මරදානේ මරදන් වැල්ල, බටහිර පැත්තට එනම් බේරේ වැවට ආසන්න වනවිට සුදුවැල්ල ලෙසින් හැඳින්වූ බව පෙනේ.

කිරුළපනේ

මෙම පෙදෙස විශාල වෙල්යායක් බවත්, එම වෙල්යායේ කෙලවර කෝට්ටේ රජවාසලේ කොත පෙනුනු බවත් පැවසෙනවා. රජමාලිගාව පෙනෙන තැන හෙවත් කිරුළ පෙනෙන තැන කිරුළපනේ ලෙස හඳුන්වන්නට පටන් ගත් බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. 

නූතන කිරුළපනේ සිට කෝට්ටේ අළකේෂ්වර (අලගක්කෝනාර) රජුගේ මාළිගාව පිහිටි තැන ලෙස සැලකෙන ස්ථානය ගූගල් සිතියම් වලට අනුව අහස් දුර කිලෝමීටර් 3.7ක් පමණය. ඒ අනුව මෙම ජනප්‍රවාදය සැබෑවීමට ඉඩක් ඇත.

කුරුඳුවත්ත

1864දී කොළඹ ජාතික රෝහල පිහිටවූ භූමිය කුරුඳු වත්තක් වූ අතර එයින් දකුණු දෙසට බොරැල්ල, තිඹිරිගස්යාය, අනෙක් පසින් රීඩ් මාවත, රාජකීය හා තර්ස්ටන් විද්‍යාලද පිහිටි පෙදෙස කුරුඳුවත්ත ලෙස හැඳින්වෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව, SSC ක්‍රීඩා පිටිය මෙන්ම විහාරමහා දේවී උද්‍යානය හා නිදහස් චතුරශ්‍රය අයත්වන්නේත් කුරුඳුවත්ත පෙදෙසටයි.

අදවන විට ධනවත්, බලවතුන්ගේ නිවහන් ඇති කොළඹ කුරුඳුවත්ත එකල සැබැවින්ම කුරුඳු වවා තිබූ, කුරුඳු නොමැති තැන්වල විශාල කැලෑ රොදවල් තිබූ භූමි ප්‍රදේශයක් වුනා. එමර්සන් ටෙනට්, ජෝන් ඩෙවී, ගයිගර් ආදී රචකයින් ගණනාවක් කුරුඳුවත්තේ කුරුඳු වගා පිලිබඳව සිය පොත්වල සටහන් කොට තිබෙනවා.

කොල්ලුපිටිය

1664දී උඩුනුවර අඹන්වෙල අප්පුහාමි, සත්කෝරලේ මන්න අප්පුහාමි හා අටකලන්කෝරලේ සුන්දර අප්පුහාමි, දෙවැනි රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් ගැසූ අතර එය අසාර්ථකවිය. රාජ විරෝධී කුමණ්ත්‍රණ කිරීමට දඬුවම් ලෙස මන්න අප්පුහාමි හා සුන්දර අප්පුහාමි මරා දැමුණු අතර බළසම්පන්න පවුල් පසුබිමක් මෙන්ම උපතින්ම කෛරාටිකයෙකු වූ අඹන්වෙල අප්පුහාමිව ලන්දේසින් අල්ලාගෙන සිටි පහත රටට පලවා හැරියේය.

කෙටි කළකදීම උඩරට රාජධාණියේ තොරතුරු හා සමහරවිට  ඔත්තුකරුවන් සපයාදීම වෙනුවෙන් ලන්දේසීන් (ඕලන්දයින්) අඹන්වෙල අප්පුහාමි (අඹන්වෙල රාළ ) වෙත කොළඹට ආසන්නයේ සමුද්‍රාසන්න පෙදෙසකින් විශාල ඉඩමක් ලබා දුන්නේය. 

ඉඩමේ පොල් වගාකරමින්, ලන්දේසින්ගේ අනුග්‍රහයෙන් අවට ඉඩම්ද අල්ලාගනිමින් අති සාර්ථකව වගා ව්‍යාපාරය කරගෙන ගිය අඹන්වෙල අප්පුහාමි සිය නමද ලන්දේසි කරගනිමින් වෑන් රයි-කොෆ් නමින් පෙනී සිටින්නට වුනා.

අවට සිටි දුගී ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් හෝ ඉතා අඩුමිලට ලබාගනිමින් පලාතම අයිතිකරගනිමින් සිටියත් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වන්නට හයියක් නොමැතිවූ ගම්වාසීන් ඔහුගේ ඉඩම කොල්ලකෑ පිටිය - කොල්ලන් පිටිය ලෙසින් හඳුන්වන්නට වුන අතර එය පසුකලෙක කොල්ලුපිටිය ලෙස අනුවර්තනය වුනා.

කොල්ලුපිටියේ සාන්ත මයිකල් පල්ලිය හා විද්‍යාලය පිහිටා තිබෙන්නේ මෙම ඉඩමේ කොටසක බව පැවසෙන අතර නූතන කොල්ලුපිටිය හන්දියට හා ලිබර්ටි වටරවුම පෙනෙන දුරින් තිබේ. අදටත් සාන්ත මයිකල් දේවස්ථානය හා ශාන්ත මයිකල් විද්‍යාලය තිබෙන ඉඩම පොල්වත්ත ලෙස හඳුන්වන අතර ශාන්ත මයිකල් විද්‍යාලයේ ලිපිනය වන්නේද, "පොල්වත්ත, කොළඹ 03" යන්නයි.

බම්බලපිටිය

බම්බලපිටියට ඒ නම ලැබුණු හැටි ගැන කතා දෙකක් තියෙනවා. එකකට අනුව පෘතුග්‍රීසි-ලන්දේසි යුගවලදී  කැලෑබද පෙදෙස් වුනු ඒ පැත්තේ විශාල ජම්බෝල කැලෑවක් තිබිලා තියෙනවා. පොල් වගා කරන්න කැලෑ එලි කරද්දී මේ ජම්බෝල කැලෑව හමුවෙන්නට ඇති. ජම්බෝලවලට ලංකාවේ සමහර ගැමියන් බම්බලොසි කියලත් කියනවා. බම්බලොසි වැවුනු බම්බලොසී පිටිය පස්සේ බම්බලපිටිය වෙන්නට ඉඩ තියෙනවා.

තවත් කතාවකට අනුව මේ පැත්තේ මුහුදු වෙරළේ විශාල ලෙස බොම්බිලි කරවල වේලීම සිදුවෙලා තියෙනවා. ඒවගේම ඉන්දියානුවන් බොම්බිලිවලට බම්මලෝ කියලා කියනවා. සමහරවිට මේ පැත්තේ බොම්බිලිකරවල වේලීම ඉන්දියානුවන් කරන්න ඇති. ඒ කාලේ කොළඹ විශාල වශයෙන් දෙමළ - මළයාළි - චෙට්ටියාර් මිනිස්සු හිටපු නිසා මේ කරවලවලට ඒ කාලේ බම්මලෝ කියලා භාවිතා කරන්න ඇති. බම්මලෝ වේලන බම්මලෝ පිටිය පස්සේ බම්බලපිටිය බවට පත්වුනාද දන්නේ නෑ. එහෙම නැතිනම් බොම්බිලි වේලන බොම්බිලිපිටිය පස්සේ බම්බලපිටිය වුනාද දන්නේ නෑ.



-vidyagaweshana.blogspot.com-

ලිප්ටන් සීට්


 හපුතලේ නගරය ආසන්නයේ පිහිටි පුනාගල කියන කන්දේ මීටර් 1950 කට වඩා උස කදුමුදුනක තමයි මෙය පිහිටා තියෙන්නෙ.ඇත්තටම මේක පිහිටලා තියෙන්නේ පෞද්ගලික ඉඩමක ඒ ඉඩමේ අයිතිය දැනට තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාවට, එහෙම වුනාට ඕනෙම කෙනෙක්ට මෙතන බලන්න යන්න පුළුවන්. මෙතනට මේ නම හැදිලා තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාව මුලින්ම අයිතිවෙලා තිබුන සර් තෝමස් ලිප්ටන් කියන කෙනා පුරුද්දක් විදියට මෙතනට ගිහින් තියනවා වටපිටාවේ සුන්දරත්වය බලන්න එම කාරණය නිසා දැනටත් මෙතන ලිප්ටන් සීට් කියලා හදුන්වනවා. 

සොඳුරු බවින් නැහැවෙන මේ කඳු මුදුනේ ඔහු අසුනක්‌ පිළියෙල කර ඇත්තේ උදෑසනත් සන්ධ්‍යා කාලයේත් කඳුවැටියේ පහළින් දිස්‌වන සොබා සෞන්දර්යේ මිහිර විඳින්නයි.

ලිප්ටන් තෝමස්‌ ඉංග්‍රීසි ජාතිකයෙක්‌. 1848 මැයි 10 වැනි දා බ්‍රිතාන්‍යයේ ග්ලාස්‌ගොහි උපන් ලිප්ටන්ගේ කුඩා කාලය එතරම් සැපවත් එකක්‌ වෙලා නැහැ. ඔහුගේ දෙමාපියන් බොහෝ ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳි අය. ඔවුනට ග්ලාස්‌ගොහි කුඩා වෙළෙඳසලක්‌ තිබුණා. එහි අලෙවි කළේ හැම් බටර් හා බිත්තරයි. මේ නිසා ලිප්ටන්ට කුඩා කාලයේදීම නොයෙක්‌ රැකියාවල නියුතු වෙන්නට සිදුවුණා. 

1864 දී ඔහු නැවක කැබින් බෝයි කෙනෙකු ලෙස සේවය කළ අතර අනතුරුව ගණකාධිකාරවරයෙකු, පොත් තබන්නෙකු, ගෙන් ගෙට ගොස්‌ භාණ්‌ඩ අලෙවිකරුවකු ලෙස සේවය කළා. ඉන්පසු නිව්යෝක්‌හි සහකාර තේ පරීක්‌ෂකවරයකු ලෙස ද වැඩ කළා.

1890 දී ලිප්ටන් ලංකාවට පැමිණෙන්අනේ වතු අධිකාරිවරයකු වූ ෙ-ම්ස්‌ ටේලර්ගේ ව්‍යාපාර කටයුත්තක්‌ සඳහායි. ඒ බ්‍රිතාන්‍ය පාලන සමයේදීයි. ලංකාවේ තේ වැවිලි ව්‍යාපාරය හා සම්බන්ධ වූ ඔහු, ලිප්ටන් වර්ගයේ තේ ලංකාවට හඳුන්වා දෙමින් දඹේතැන්න ස්‌ටේට්‌ ඪපැඑඑබබ් Eස්ඒඑඑස් නම් දැවැන්ත තේ වතුයාය හා කර්මාන්ත ශාලාව ආරම්භ කළා. ඔහු මේ සඳහා පූනගල කඳු යායෙන් අක්‌කර 925 ක භූමියක්‌ ලබා ගත්තා. ඔහු තෝරා ගත්තේ පූනගල කඳු යායේ ඉතා සුන්දර බිම් පෙදෙසක්‌. කඳුයායේ මුදුනට ඔබ ළඟා වුවොත් ඔබ තවත් ලෝකාන්තයකට පැමිණියාක්‌ මෙන් ඔබට දැනේවි.

පූනගල කඳු මුදුන පිහිටා ඇත්තේ මුහුදු මට්‌ටමේ සිට අඩි 6000 ක තරම් උසකින්. එය අංශක 360 ක දර්ශනතලයකින් යුක්‌තයි. මේ කඳු මුදුන දුටු ලිප්ටන් එහි ඇති මායාකාරී මනස්‌කාන්ත දර්ශනයෙන් වශී වී ගියා. එම දර්ශනයට ඇළුම් කළ ඔහු විවේකයේදී එහි සිට එය නැරඹීමට අසුනක්‌ පිළියෙල කළා. එයට ලිප්ටන් අසුන Lipton Seat යයි නම් කළා

හරි දැන් සමහරු බලනවා ඇති මොකද්ද මේකේ තියෙන විශේෂය කියලා මොකද මම තාම ඒක කිවුවේ නැහැනේ. මෙන්න මේකයි මෙතන තියන වැදගත්කම, ලංකාවේ පිහිටි පළාත් නවයෙන් පළාත් පහක් එකවර දකින්න පුළුවන් ලංකාවේ පිහිටි එකම ස්ථානය විදියට මෙතන සලකනවා. එහෙම දකින්න පුළුවන් පළාත් තමයි ඌව පළාත, දකුණු පළාත, සබරගමුව පළාත, මධ්‍යමපළාත සහ නැගෙනහිර පළාත කියන්නේ. ඒ වගේම මෙතන ඉදන් පටපිටවේ දකින සුන්දරත්වය දෙවෙනි වන්නේ හෝර්ටන් තැන්නේ පිහිටි ලෝකාන්තය අවට සුන්දරත්වයට විතරක් කියල විශ්වාස කරනවා. 

මම කියපු හැම දෙයක්ම හොදට දකින්නනම් වර්ෂාව නැති ටිකක් උණුසුම් කාලගුණයක් තියෙන දවසක උදැසන නවයට ප්‍රථම මෙම ස්ථානයට ලගා වෙන්න ඕනේ, එතකොට තමයි මම කියපු ඒ සුන්දරත්වය දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම හොදට මතක තියාගන්න අධික මීදුම සහ අධික අකුණු ගැසීම් පවතින දවස්වලට මෙම ස්ථානයට යෑමෙන් වැලකි සිටින්න. මොකද මිදුමට මාර්ගයේ ඉදිරිය නොපෙනීම නිසා අනතුරු විය හැකියි. අකුණු ගැසීම නිසා මෙම ස්ථානයේදී විදේශ සංචාරකයන් යුවලක් මියගොස් තියෙනවා.

හරි අපි දැන් බලමු කොහොමද ලිප්ටන් සීට් යන්නේ කියලා ඇත්තටම මෙතෙන්ට යන්න මාර්ග කීපයක්ම තියෙනවා නමුත් ලේසිම ක්‍රමය තමයි හපුතලේ ඉදන් පිටරත්මලේ, දබේතැන්න හරහා ලිප්ටන් සීට් එකට ලගාවෙන එක. මෙතැනදී මුලින්ම කියන්න ඕනේ මේ මාර්ගය වුනත් ලේසි කිවුවට ඉතාමත් හොද කල්පනාවකින් නොගියොත් ඉතාම අවදානම් ගමනක් තමයි හපුතලේ ඉදන් තියෙන්නේ. 

හපුතලේ නගරයේ ඉදන් ලිප්ටන් සීට් එකට සම්පුර්ණ දුර කිලෝමීටර් 15ක් තියනවා. ඒ වගේම මේකේ කිලෝමීටර් 9ක් විතර දුරට යනකන් ඒ කියන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාව ලගට යනකන් බස් වැඩ කරනවා. ඔයාලා බස් එකේ යන්න හිතාගෙන ඉන්නවනම් ඉතුරු කිලෝමීටර් 6 යන්න දබේතැන්න තේ කර්මාන්තශාලාව ලගින් ත්‍රිරෝද රථයක් කුලියට ගන්න පුළුවන් එහෙම නැත්තන් ඒ දුර පයින්ම යන්නත් පුළුවන් වටපිටාවේ සුන්දරත්වය නරබමින්. 

හපුතලේ නගරයේ ඉදන්ම වුනත් වාහනයක් හයර් එකට අරගෙන යන්න පුළුවන්. නමුත් තමන්ගේම වාහනේක යන්න බලාපොරොත්තු වෙනවනම් ඉතාමත් හොද ඉවසීමක් සහ හොද පළපුරුද්දක් තියෙන රියදුරු මහතකු සමග යන්න මතක තියාගන්න. ඒ වගේම බස් රථ වගේ ප්‍රමාණයෙන් විශාල වාහන වලටත් යන්න අමාරුයි මොකද අවසාන කිලෝමීටර් 6 මාර්ගය ඉතාම පටු සහා විශාල බැවුමක් සමග පවතින වැලමිට වංගු පිහිටා තිබෙනවා. ඒ වගේම මාර්ගයේ ස්ථාන කීපයක් හැරුණු විට වාහන දෙකකට හුවමාරු වීමේ හැකියාවක් නැහැ.

-vidyagaveshana.blog.-

Wednesday, January 27, 2021

උදේ ගිහින් හවස එන්න කොළඹ අවට ලස්සන තැන් 8ක්

 

බැද්දගාන උද්භිද උද්‍යානය


කොළඹ කිට්ටුවම තියෙන ලස්සන තෙත් බිම්වලින් එකක්. පිහිටල තියෙන්නෙ පිටකෝට්ට, බැද්දගානෙ. ජලාශ්‍රිත කුරුල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා ගියපු මේ තෙත් බිම ෆොටෝග්‍රැෆර්ස්ලට නම් කියාපු තැනක්. පෞද්ගලික බෝට්ටුවක් එහෙම තියෙනව නම් කැමරා බඩු ටිකයි තව යාළුවෙක්වයි එහෙමත් දාගෙන රවුමක් ගිහිල්ල එන්න පුලුවන්. ඇත්තටම මේ තැනේ ලස්සන තියෙන්නෙ උදේටත් වැඩිය හවස් ජාමෙට. ගෙම්බන්ගෙ, රැහැයියන්ගෙ සද්දෙට මැදි වෙලා, ඉර බැහැගෙන යන හැන්දෑවක හුදකලා වෙන්න, කොළඹ කිට්ටුව මේ තරම් හොඳ තැනක් තවත් නැතුව ඇති.
 

මුතුරාජවෙල උද්භිද උද්‍යානය


මේ අනික් තැන. ගොඩ දෙනෙක් හොඳ හැටි දන්නවත් එක්ක. වැඩේ කියන්නෙ මේකෙ ඉමක් කොනක් ලේසියට හොයා ගන්න බෑ. ඒ වගේම තමයි ජෛව විවිධත්වයත්. ජලාශ්‍රිත කුරුළු විශේෂ වගේම වර්ග කීපයක උකුසු, රාජාලි විශේෂ එහෙමත් දැක බලා ගන්න පුලුවන්. එ් හැරුනාම ලොකු උභය ජීවී විවිධත්වයකුත් තියෙනව. හැබැයි ඉතින් මුතුරාජ වෙලේ බෝට්ටු පදින්න නම් අවසර ගන්න වේවි මගෙ හිතේ. හැරත් ඒ කිට්ටුව පාතින් විඩා නිවන් හෙවණක් හොයා ගන්නත් ටිකක් අමාරු නිසා හොඳම වැඩේ තමයි උදේ වරුවක් හරි හවස් වරුවක් හරි විතරක් අල්ලල යන එක.
 

කුමාරි ඇල්ල



ඔන්න තියෙනව නිදහසේ ගිහින් නාලා කරල, කෑම ටිකක් කාලා, සිංදුවක් එහෙමත් කියල, විනෝද වෙලා එන්න කියාපු තැනක්. යන්න තියෙන්නෙ කොළඹ, අවිස්සාවේල්ල පාරෙ පුවක්පිටිය පාළම ළඟට. ඊට පස්සෙ, පාළමෙන් එගොඩ වෙලා තුම්මෝදර පාරෙන් හේවාඉන්න පැත්තට යද්දි කාගෙන් හරි ඇහුව නම් කුමාරි ඇල්ල කොහෙද කියල පෙන්නාවි. වටේටම තියෙන්නෙ රබර් කැලේ. එහෙමයි කියල සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගෙ අඩුවක් නෑ. වැඩේ කියන්නෙ ඒ අඩු වුණත් දවස ගාණෙ නාන්න, විනෝද වෙන්න එන කට්ටිය සෙට්වලින් නම් කොහොමත්ම අඩුවක් නෑ. කුමාරි ඇල්ල උඩ වගේම පාමුලත් සෙට් වෙන්න ඉඩ කඩ තියෙනව. ඒ නිසා ඔයාලත් අවුලක් ගන්න ඕන නෑ හොඳද
 

පරවිතොට



හයිලෙවල් එකේ මීපෙ, ඉංගිරිය පාරෙන් හොරණ රත්නපුර පාරට දාගෙන රත්නපුර පැත්තට යද්දි තමයි පරවිතොට හංදිය හමුවෙන්නෙ. එතනින් පරවිතොට පාර දිගේ ඉස්සරහට යද්දි කාගෙන් හරි පොඩ්ඩක් ඇහුව නම් නාන්න තැනක්, ඕන තරම් කියාවි. මේ හරිය නම් ගොඩක් දුරට ස්වභාවික වනාන්තරය. කුරුල්ලො විතරක් නෙවෙයි මීමින්නො, ඉත්තෑවො, හඳුන් දිවියො එහෙමත් එමටයි. සද්ද නොකර, හෙවිල්ලෙන් බැලිල්ලෙන් හිටිය නම් සතෙක් සීපාවෙක් බලා ගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. හැබැයි එහෙම ආසාවක් නැත්නම් පරිස්සමට නාලා කරල, කෑම ටිකක් එහෙම කාලා එන්න පුලුවන්. ඒත් එකක් මතක තියා ගන්න. ගොඩක් වෙලාවට ඔතන, කට්ටිය ‘සෙට්’ වෙන නිසා අහක යන නඩු පත්තු වෙන්න ඉඩ තියෙනව, කල්පනාවෙන් හරිද.


නාච්චිමලේ


නාච්චිමලේ තියෙන්නෙත් පරයිතොට කිට්ටුවම තමයි. පරයිතොට පාරෙ කෙළවරටම වගේ යන්න ඕන. හොඳම වැඩේ තමයි යන ගමනෙ කාගෙන් හරි අහන එක. මෙතනයි එතනයි කියල ලොකු වෙනසක් නෑ. හොඳට මතක තියා ගන්න මොන දේ කළත් මීටරෙන් හොඳද.
 

ගලගෙදියන ඇල්ල


හරි ලස්සන දිය ඇල්ලක්. වටපිටාවත් කුරුලු හඬින් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නෙ. සතා සීපාවා එහෙමත් දැක බලාගන්න බැරි කමක් නෑ. හැබැයි නාන්න යන කොට නම් පරිස්සමෙන්. ‘වළ ගැඹුරුයි, බලා ගෙනයි, මළොත් කවුරුත් වග කියන්නෙ නෑ’

ගලගෙදියන ඇල්ල පිහිටල තියෙන්නෙ ගලපිටමඩ, දැදිගම පැත්තෙ. හරියටම කොට වෙහෙර දාගැබට කිට්ටුව. කොළඹ ඉඳන් යනව නම් පැය දෙක හමාරක් වගේ යාවි. ඔන්න මේ ගමනෙදිත් කට්ටිය මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනව. ඒ තමයි පුලුවන් තරම් මත්ද්‍රව්‍ය, මත්පැන් ගෙනියන එක අඩු කරන්න. මොකද ඔය බීලා, පිස්සු කෙළල නාන්න යන කට්ටියට මේ පැත්තෙ පරිසරයෙන් ඒ හැටි සමාවක් ලැබෙන්නෙ නෑ.

 

රිකිල්ලේ ඇල්ල


තවත් ලස්සන ඇල්ලක්. පිහිටල තියෙන්නෙ බුලත්කොහු පිටිය, දේදුගල කිට්ටුව. කොළඹ ඉඳන් යනව නම් පැය 3ක් විතර යාවි. මේ ඇල්ල කිට්ටුවටම යනකම් වාහනෙන් යන්න පුලුවන් නිසා ලොකු අවුලක් නෑ. හැබැයි නාන්න කරන්න යද්දි ටිකක් පරිස්සමට. මොකද මේ දවස්වල කඳුකරයට වහින වැස්ස නිසා ඇල්ලෙ වතුර වැඩි වෙලා ලස්සනට පෙනුනට, ඒ වතුර පාරෙ සැර නාන්න යන කට්ටියට නම් දරා ගන්න බෑ. කොහොම වුනත් මේ පැත්තෙ තෙත් කලාපිය හුරුවක් තියෙන කුරුලු විශේෂ වගේම සර්ප විශේෂ එහෙමත් ඉන්න නිසා කැමරාවක් නම් ගෙනියන්න අමතක කරන්න එපා.
 

වදාකඩ ඇල්ල


වැස්ස කාලෙට පට්ට ලස්සන දිය ඇල්ලක්. සුදු පෙණ කැටි තොග ගණන් විහිදව විහිදව හරි අපූරුවට ගලාගෙන යනව. ඒ නිසාම කාගෙන් වත් අහන්නෙ නැතුව එක පාරට නාන්න බහින්න එපා. මොකද ගියොත් ගියාම තමයි. අවට පරිසරයෙ සුන්දරත්වය ගැන නම් ඒ හැටි කියන්න දෙයක් නැති වුණා ට මොකද වදාකඩ ඇල්ලෙ ගල් තලාවක් උඩට වෙලා හවස් ජාමෙට පොඩි සිංදුවක් කියල, විනෝද වෙන එක නම් මරේ මරු.

තුල්හිරිය, අලව්ව පැත්තෙන් තමයි වදාකඩට යන්න තියෙන්නෙ. ගමට ගිහින් කාගෙන් හරි පාර අහගන්න එක තමයි හොඳම වැඩේ. ඔන්න ඇල්ලෙ විස්තර අපි කියපු නිසා එතනින් එහාට අරව කරන්න, මේවා නොකරන්න කියල අපි කියන්නෙ නෑ. ඔයාලම හිතල බලල කරන්න.

හැබැයි ඒ විතරක්මත් මදි. ඔය කොහේ ගියත්, වට පිටාවෙ තියෙන නොදිරන දේවල් එකතු කලත් නොකලත්, අඩුම තරමෙ තමන් ගෙනියන කුණු ජරාව ටිකවත් අරන් ආවොත් හැමෝටම යහපතක් වේවි!



-yamu.lk-

නුවරඑළියේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන

 මේ කියන්න යන්නේ නුවරඑළියේ සංචාරය කරන්න ඉන්න ඔබ, නුවරඑළියේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඔබ යා යුතුම සුන්දර ස්ථාන රැසක් නුවරඑළිය සතුයි.

 

ග්‍රෙගරි වැව


1872 වර්ෂයේ මෙරට ආණ්ඩුකාර ධූරයට පත් සර් විලියම් ග්‍රෙගරි සිය පරිපාලන කටයුතු වෙනුවෙන් නුවරඑළිය තෝරාගත්තේ ය. ඔහු සැබවින්ම කලාවට හිතැති සෞන්දර්යවාදියෙකු විය. බෙහෙවින් පරිසරයට ඇළුම් කල අයෙක් විය. සිය ස්ථිර වාසස්ථානය වශයෙන් නුවරඑළිය නගරය තෝරාගත් හෙතෙම නගර අලංකරණයට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ පිළිබඳව විදේශිකයන් ද ඔහුව ඇගයීමට ලක් කල අතර සිය හිතවතුන් නගරයට පැමිණෙන බැවින් සිය නගර අලංකරණය වඩාත් විධිමත් කිරීමටද ඔහු කටයුතු කළේය. සුන්දර ග්‍රෙගරි වැව නිර්මාණයට අවශ්‍ය හේතු සාධක නිර්මාණය වූයේ මෙම පදනම මතයි.
 

සීතා අම්මාන් කෝවිල



සීතා අම්මාන් කෝවිල හක්ගල උද්භිද උද්‍යානයේ සිට කිලෝ මීටර 1 පමණ දුරින් පිහිටා තිබෙන සීතා එලිය ප්‍රදේශයෙහි ඉදිකොට තිබෙයි. රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි පැවසෙන ස්ථානයෙහි මෙම කෝවිල ඉදිකර ඇතැයි විශ්වාස කෙරෙයි.
 

Moon Plains (සඳ තැන්න)


නුවර එලිය දිස්ත්‍රික්කයේ නගරයේ සිට කි මි දුරකින් පිහිට ඇති මේ සුන්දර පරිසරය මහජනතාවට මීට වසරකට පෙර සිට විවෘත පවතී. එමෙන්ම ඉතාමත් සුන්දර පරිසරයකට හිමිකම් කියන මේ ප්‍රදේශය එම ස්ථානයේ ඇති රථ වාහන වලින් පමණක් ගමන් කිරීමට ඇති අතර පිට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇත්තේ එම පරිසරය ආරක්ෂා කරගැනීම සඳහායි


බෝඹුරු ඇල්ල (පේරවැල්ල ඇල්ල)



බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි.
 

හක්ගල උද්භිද උද්‍යානය


හක්ගල උද්භිද උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය පිහිටා තිබෙන උද්‍යානයකි. අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ සීතාවක උද්භිද උද්‍යානයයි. උද්‍යානය ආසන්නයෙන්ම හක්ගල දැඩි ස්වභාව රක්ෂිතයද පිහිටා තිබේ.
 

Single Tree Hill


නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් වන මෙහි අහස පැහැදිලි දිනෙක පිදුරුතලාගල කඳු පන්තිය, ශ්‍රීපාදය, හග්ගල, ග්‍රෙගරි වැව, නුවර එළිය නගරය මෙන්ම හොර්ටන්තැන්නද දැකගත හැකිය. තුරඟ තරඟ පිටිය ඉදිරිපසින් ආරම්භ වන “සින්ගල් ට්‍රී” පාරේ පයින් යන්නෙකුට පැයකට අඩු කාලයකදී මුදුනට ලඟා විය හැකිය.


ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය



ඉංග්‍රීසි ජාතිකයන් මෙරටපාලනය කළ සමයේදී, ඔවුන්ගේ රටට සමාන දේශගුණික තත්ත්වයක් පවතින නුවරඑළිය ප්‍රදේශයේ වෙසෙමින් වතුවගා කටයුතුවල නියැළිනි. සතුනට ඇල්මක් දැක්වූ ඉංග්‍රීසි පාලකයන්, ඔවුන්ගේ වාසය සඳහා අභය භූමියක් තැනිය යුතු යැයි තීරණය කළේ ය. ඒ අනුව ගැල්වේස්ලෑන්ඩ් අභය භූමිය, අක්කර 15ක බිම් පෙදෙසක තනනු ලැබීය. මේ ඉඩම, කපිතාන් පී.පී. ගැල්වේස්ට අයත්ව තිබූ නිසා, ගැල්වේස්ලෑන්ඩ් ලෙස නම් කර ඇත.


වික්ටෝරියා උද්‍යානය


වික්ටෝරියා උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ, නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයකි. අතීතයේ නුවරඑළියේ සංචාරයකට පැමිණි ජර්මන් කුමරියක විසින්, සමාරම්භයේදී මෙම භූමිය තුල ඕක් පැලයක් ඉන්දුවා තිබෙන බවද සඳහන් වෙයි.


වික්ටෝරියා කෞතුකාගාරය


වික්ටෝරියා උද්‍යානයයේ එක් අන්තයක මෙම කෞතුකාගාරය පිහිටා ඇත.
 

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය


මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.



-Source : lifie.lk-

දෙතිස් වධ

 


දෙතිස් වධ යනු ශ්‍රී ලංකාවේ අතීතයේ රජසමයේ භාවිත වී ඇති දණ්ඩන ක්‍රම තිස් දෙකක් වේ. ඊට පහත සඳහන් වධ දෙතිස ඇතුළත් වෙයි.

  1. වේවැල් පහර 400 ක් තැලීම.
  2. කස පහර 500 ක් තැලීම.
  3. අත් කැපීම.
  4. පා කැපීම.
  5. අත් පා කැපීම.
  6. කන් කැපීම.
  7. නාසය කැපීම.
  8. කන් නාසා කැපුම.
  9. ඉස් කබල උගුලුවා කාඩි දිය දැමීම.
  10. හිසේ හම උගුලුවා බොරළු දැමීම.
  11. අඬුවෙන් කට හරවා පහන් වැටි දැමීම, රාහුමුඛ වධය.
  12. ගිනිදැල් දැමීම, ජෝතිමාලක වධය.
  13. දෙඅත් ගින ලෑම, හත්ථපජ්ජෝතින වධය.
  14. කටියෙහි පටන් හම ඉඟිලීම, පාරකත්තික වධය.
  15. තනපත්තෙහි පටන් හම ගලවා හිස ගහලන,චීරක වාචික නම් වධය.
  16. දෙදන, දෙවැලමිට අල්වා යපන් ගසා යකඩ උල හීඳුවීමේ, පණ්‍යෙක නම් වධය.
  17. යකඩ බිලීකටුවෙහි එල්වන්නාවූ, බලිස මාංසික වධය.
  18. කහවණු මෙන් මස් කපා හරින, කහාපණ වධය.
  19. ශරීරය කොටා ක්ෂාර ලුණු දමන, ඛාරාපතච්ඡික වධය.
  20. බිම හොවා කණෙහි යවුල් ගසා පාදයෙන් කරකවන පලීඝ පරිවෘත්තික වධය.
  21. ඇටමස් තලා පිදුරු බිස්සක් මෙන් කරන පලාප පීඨක වධය.
  22. රත්කළ තෙල් ඉසීමේ වධය.
  23. බල්ලන් ලවා කැවීමේ වධය.
  24. කඩුවෙන් හිස සිඳීමේ වධය.
  25. වධ බෙරයෙහි ලෑමේ වධය.
  26. දිවස් හුල හිඳවීමේ වධය.
  27. යටිපලු ඉරා ලුණු දැමීමේ වධය.
  28. උණුකළ තෙල් කටාරමේ ලෑමේ වධය.
  29. අඬුවෙන් දිව ඇද ලුණු වතුර ලීමේ වධය.
  30. වෑයෙන් හතරැස් කිරීමේ වධය.
  31. ඇස් උගුලුවා ලීමේ වධය.
  32. මස් ලොඹුවේ තබා ශරීරය කැට කැට කොට කැපීමේ වධය.


-wikipedia-