Tuesday, April 6, 2021

තහනම් නගරය – චීනයේ විස්මයජනක මාළිගාව

 අපේ රටේ අය වගේම ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවා එතරම් නොදන්න සුවිශේෂී මාළිගාවක් චීනයෙහි පිහිටා තිබෙනවා.


බීජිං නගරයේ පිහිටා තිබෙන මෙම මාලිගා සංකීර්ණය හැඳින්වෙන්නේ තහනම් නගරය ලෙසයි. අතීත චීන අධිරාජ්‍යවරුන්ගේ සමයේදී සාමාන්‍ය ජනතාවට මෙම මාළිගය විවෘත නොවුණු නිසා තහනම් නගරය ලෙස හැඳින්වුණු බව කියවෙනවා. ප්‍රංශයේ ලූවර් මාළිගාව මෙන් තුන් ගුණයක් විශාල වන තහනම් නගරය වර්ග අඩි හැත්තෑ හත් ලක්ෂ පනස් දාහක බිම් ප්‍රමාණයක් පුරා  විහිදී යනවා. කම්කරුවන් ලක්ෂ දහයක් පමණ මෙම මාළිගය නිර්මාණය කිරීම සඳහා දායක වූ බව කියවෙනවා. ගොඩනැගිලි නමසිය අසූවක් සහ කාමර අට දහස් හත්සීයක් පමණ මෙම මාළිගා සංකීර්ණය තුළ පිහිටා තිබෙනවා.

 

2. චීන ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණය

ලෝකයේ දැනට ඉතාම හොඳින්ම සංරක්ෂණය වී ඇති මධ්‍යතන යුගයේ ලීයෙන් කළ ගොඩනැගිලි සංකීර්ණය අයත් වන්නේ තහනම් නගරයටයි. අදටත් එහි ඇති සෑම ගොඩනැඟිල්ලකම සුළු වෙනස්කමක් පවා සිදු කොට නැත්තේ චීන ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨත්වය නිරූපණය වන පරිදියි. මෙම මාළිගයට ඇතුළු වන්නට ස්වර්ණාලේපිත දොරටු නමයක් නිම කොට තිබෙනවා. චීන විශ්වාසවලට අනුව අංක නමය මගින් විශිෂ්ටත්වය නිරූපණය වනවා.

 

3. ගස් නැති පිටත රාජ  සභා මණ්ඩපය

 ප්‍රධාන මාළිගා පරිශ්‍රය ඉදිරිපස එළිමහන තුළ පිටත රාජසභා මණ්ඩපය පිහිටා තිබෙනවා. උත්සව අවස්ථාවලදී සාමාන්‍ය ජනතාවට අධිරාජ්‍යයා දැකගැනීමේ අවස්ථාව ලැබුණේ මෙම පිටත රාජසභා මණ්ඩපය තුළ දී පමණයි. පුදුමයකට මෙන් මෙම එළිමහන් කොටස තුළ  කිසිදු ගසක් ඉතුරු කර නැහැ. නමුත් ඇතුළත රාජ සභා මණ්ඩපය තුළ අලංකාර ගෙවතු දකින්නට ලැබෙනවා. මීට හේතුව ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ගසක් ආධාරයට ගනිමින් අධිරාජ්‍යයා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින නිසා, පිටත රාජසභා මණ්ඩපය ගස්වැල් වලින් තොර කලාපයක් කර ඇති බවයි.

 

4. අරාබි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලැබූ නාන ගෙය

යුවාන් රාජවංශයේ රජවරු විසින් තම රජමාළිගය ගොඩනගා තිබුණේ ද තහනම් නගරය පිහිටා තිබෙන බිමේමයි. ඒ සඳහා දායක වූ පර්සියානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් අරාබි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලැබූ නානගෙයක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. එම කුඩා මාළිගය ඉවත් කොට තහනම් නගරය නිර්මාණය කිරීම සඳහා අණ ලබා දුන් මින්හ් රාජවංශයේ යොන්ගල් අධිරාජ්‍යයා විසින් එම නානගෙය,  ශාලාවක් ලෙස තහනම් නගරයට එක් කිරීමට කටයුතු කොට තිබෙනවා.

5. කුරුල්ලෙකුට වත් ලැගීමට නොහැකි තහනම් නගරය වහලවල්

තහනම් නගරයේ වහලවල් වල පිරිසිදු බව රැක ගැනීමට සහ එහි ඇති විශිෂ්ටත්වය පෙන්වීම සඳහා එහි ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් විශේෂ උපක්‍රමයක් අනුගමනය කොට තිබෙනවා. ආනතිය වෙනස් කිරීම මගින් කුරුල්ලෙකුට තම නිය තැබීමට නොහැකි වන පරිදි  සෑම වහලක්ම සකස් කිරීමට ඔවුන් වගබලා ගෙන තිබෙනවා. මේ නිසා අද දක්වාම තහනම් නගරයේ ගොඩනැගිලිවල වහලවල් මත කුරුල්ලන්ට වැසීමට හැකිවන්නේ නෑ.

 

6. තහනම් නගරේ ආරක්ෂකයෝ

තහනම් නගරයේ ආරක්ෂාව සඳහා විශේෂ පිරිසක් ස්වේච්ඡාවෙන්ම සේවයට එක්ව සිටිනවා. විවිධ යුගවල අධිරාජ්‍යවරුන්ගේ බිරින්දෑවරුන්ගේ සුරතලුන් ලෙස ඇති දැඩි වූ පූසන්ගෙන් පැවත එන පූස් සුරතලුන් සීයකට අධික ප්‍රමාණයක් අදටත් එම බිමේ අයිතිකරුවන් බවට පත්ව සිටිනවා. මේ බොහෝ  සුරතලුන් තමන් ගැවසෙන වපසරියක් තමන් විසින්ම නිර්ණය කරගෙන තිබෙන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව සහ මීයන්ගෙන් මාළිගයට සිදුවන හානි වළකාලීමට එම සතුන් තම දායකත්වය ලබා දෙනවා.

 

 

COPIED - lifie.lk 

Wednesday, February 17, 2021

යාපනයේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන

 

1. කසුරිනා වෙරළ


 

කසුරිනා වෙරළ යාපනය සිට කි.මී. 20 ක් පමණ දුරින් කරෙඉනගර් හි පිහිට ඇත. එය යාපනයේ ඇති ලස්සනම වෙරළ තිරය ලෙස සැලකෙන අතර මනරම් නිල් පැහැති ජලයෙන් හා සුදු වැල්ලෙන් යුක්ත වේ. වෙරල සඳහා එම නම ලැබීමට හේතුව එහි දැකිය හැකි කසුරිනා ගස් පෙළයි. කසුරිනා යනු යාපනය අර්ධද්වීපයේ බටහිරින් ඉන්දියාව දෙසට ඇති අවසන් වෙරළයි.

 

2. දඹකොළ පටුන

 

 

මීට වසර දෙදහස් තුන්සිය දහයකට ඉහත දී සංඝමිත්තා ථෙරිය විසින් මේ ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවන ලද්දේ නැවකිනි. නැව ලංකාවේ නූතන යුගයේ යාපන දිස්ත්‍රික්කයේ සෙම්බිල්තුරේ නමැති (එදා දඹකොළ පටුන හෙවත් ජම්බුකෝල පට්ටන වරායට) ස්ථානයට ගොඩ බට බව මහාවංසයෙහි සඳහන් වේ. මේ ස්ථානය දේවානම්පියතිස්ස රාජ යුගයේදී ඉතා ප්‍රසිද්ධ වරායකි. මේ සිදුවීමට ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස රජු විසින් සිය ඇමැතිවරයා වූ මහා අරිට්ඨ කුමරු ධර්මාසෝක රජු වෙත දූත මෙහෙවර සඳහා යවන ලද ගමනේදී අරිට්ඨ කුමරු නැව් නැංගේද දඹකොළ පටුනෙන් බව වංසකතා සඳහන් කරයි. 

 

3. හැමන්හිල් බලකොටුව

 

 

17 වැනි සියවසේ මැද භාගයේදී අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස් නම් පෘතුගීසි ආණ්ඩුකරවරයාගේ අණපරිදි ඉදිකර තිබෙන මේ බලකොටුව. මුලින්ම හඳුන්වා ඇත්තේ ෆෝටලෙසා රීල් හෙවත් රාජකීය බලකොටුව නමිනුයි. පෘතුගීසීන් විසින් යාපනය බලකොටුව ඉදිකිරීමෙන් පසු යාපනය නගරය සහ ඒ ආශ්‍රිත මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කිරීමට තමයි මේ බලකොටුව යොදාගෙන තිබෙන්නේ. පාෂාණමය දිවයිනක පිහිටා ඇති මෙය කොරල්පර කඩා සිමෙන්තියෙන් බැඳ දැමීමෙන් ගොඩනංවන ලද්දක්.

 

4. යාපනය බලකොටුව

 

 

වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ මෙම යාපනය කොටුව ඉදිකර ඇත. ලන්දේසී ජාතික රේක්ලොඔප් වැන් ගොයින්ස් යටතේ වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලාගත් අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර ඇත. ක්‍රි.ව. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි ආරක්ෂක බලකොටුවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. පසුගිය යුධ සමයේදී යාපනය කොටුවට විශාල වශයෙන් හානි සිදුවුණි.

 

5. නාගදීප පුරාණ රජමහා විහාරය

 

 

නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් නාගදීප දිවයිනෙහි පිහිටි විහාරස්ථානයක් වේ. එය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් සේ පිළිගැනේ. තථාගත බුදූරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වැනි වර්ෂයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි, චූලෝදර නාරජු මහෝදර නාරජු අතර මිණිපළඟක් නිසා මහත් සටනක් ඇතිවන්නට විය. මෙම සටනේදී විශාල පිරිසකට ඇතිවන්නට ගිය දරුණු විනාශය වළක්වනු වස් උන්වහන්සේ ලක්දිවට වැඩම කර වර්තමාන නාගදීප දාගැබ ඇති ස්ථානයෙහි දම් දෙසූ සේක.නාග ගෝත්‍රිකයන් විසූ දිවයින හෙයින් මෙය නාගදීපය නම් වේ.

 

6. කදුරුගොඩ විහාරය

 

 

කදුරුගොඩ විහාරය, ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ හුණුගම පිහිටා අැති බෞද්ධ විහාරයක් වේ. එය යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් හන්දිය අාසන්නයේ පිහිටා තිබේ. කදුරුගොඩ විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්‌වාම දිව යන බැව් විශ්වාස කෙරේ. මහාවංශයට අනූව දේවානම්පියතිස්‌ස රජු (ක්‍රි.පූ. 250 – 210) විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිටුවූ බවත් ඉන් එක් ස්ථානයක් මෙම කදුරුගොඩ විහාරය බවත් සඳහන් වෙයි. අනුරාධපුර යුගයේ හතරවැනි කාශ්‍යප (ක්‍රි.ව. 898 – 914) රජු විසින් කරවන ලද අත්තානි කණු ලිපියකද මෙම විහාරස්‌ථානය පිළිබඳ තොරතුරු දක්‌වා තිබේ. රජු විසින් කදුරුගොඩ විහාරයට දෙන ලද පූජාවක් (ප්‍රදානයක්) පිළිබඳව විස්තර එහි සඳහන් කොට අැත. මෙම ශිලාලේඛන සාක්ෂිය අනූව කදුරුගොඩ විහාරය, එකල හතරවැනි කාශ්‍යප රජුගේ පාලනයේ පැවති ප්‍රදේශයට අයත් (යාපනය දිස්ත්‍රික්කය තුල) ස්ථානයක් බවට පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

 

7. කීරිමලෙයි පොකුණ , නගුලේෂ්වරම් කෝවිල

 

 කීරිමලෙයි යනු යාපනය දිස්ත්‍රික්කයේ පුරාණ කන්කසන්තුරෙයි වරායට යාබදව පිහිටි නගරයකි. නගුලේෂ්වරම් කෝවිල පිහිටා ඇත්තේ මෙම ස්ථානයේ. කීරිමලෙයි පොකුණෙහි විශේෂත්වය නම්, මුහුදට යාබදව තිබුණත් එහි ඇත්තේ කරදිය නොව මිරිදිය වීමයි. නගුලේෂ්වරම් කෝවිල ඓතිහාසික වශයෙන් හැඳින්වෙන්නේ තිරුඩම්බලේෂ්වරම් කෝවිල ලෙසයි. පළාතේ ඇති පුරාණතම හින්දු සිද්ධස්ථාන වලින් එකක් ලෙස සැළකෙන මෙය, ශිව දෙවිඳුන්ගේ පුරාණ ඊෂ්වරම් පහෙන් එකක් ලෙස සැළකෙනවා. කීරිමලෙයි පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 50 ක් ඉහළින්. පොළව අභ්‍යන්තරයේ ඇති උල්පතකින් මිරිදිය උණන බව සැළකෙනවා. ආඩි නොහාත් ජූලි මාසයේ යෙදෙන අම්මාවාසි දිනය නිමිති කරගෙන කරනු ලබන පූජාවන් සඳහා බොහෝ හිංදු බැතිමතුන් මෙම පොකුණෙන් නා පිරිසිඳු වීම සඳහා පැමිණෙනවා.

 

8. යාපනය මන්ත්‍රී මාළිගය (මන්ද්‍රිමනායි)

 

 යාපනය මන්ත්‍රී මාළිගය ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන පැරණි ඉදිකිරීම් අතුරින් එකකි. සිංහල වහරේදී මන්ත්‍රී මාළිගය හෝ රාජමන්ත්‍රී මාළිගය ලෙස හැඳින්වෙන මෙම ඉදිකිරීම මන්ද්‍රිමනායි ලෙස දෙමළ භාෂාවෙන් ව්‍යවහාර කරනු ලබයි. ව්‍යවහාරයේ යෙදෙන සංඥා නාම අනූව මෙම ගොඩනැගිල්ල බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් සේ විද්‍යාමාන වූවද, ඇතැම් පිරිස් විසින් මෙම ඉදිකිරීම සංගිලියන් රජවරුන්ගේ මාළිගය ලෙස විශ්වාස කරනු ලැබේ. ක්‍රි.ව. 13 සිට 17 වන කාල සීමාව තෙක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කල ආර්ය චක්‍රවර්තී රජවරු සිය මාළිගා ගොඩනගාගත් ස්ථාන පිළිබඳව පැහැදිලි සාධක දක්නට නොමැති වීමත්, මන්ත්‍රී මාළිගාව ආසන්නයේ පිහිටි සංගිලියන් තොරණ හා ඊට ඇතුලතින් වූ නටඹුන් සංගිලි රජ මාළිගාවක නටඹුන් විය හැකි බැව් සැළකෙන නිසාත්, එම මතය ගොඩනැගී ඇති බැව් පැවසෙයි. කෙසේ නමුදු මෙම ගොඩනැගිල්ල සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්‍රභූවරයාට අයත් වන්නට ඇතැයි පොදු පිළිගැනීම වී තිබේ.

 

9. අරාලි තුඩුවේ ස්මාරකය

 

 මේඡර් ඡෙනරාල් ඩෙන්සිල් කෝබ්බැකඩුව මහතා සහ තවත් යුධ නිලධාරීන් ඡිවිතක්ෂයට පත්වුනු අරාලි තුඩුවේ එම ස්තානයේ පිහිටුවා ඇති රණවිරැ ස්මාරකය ඔවුන් සියලු දෙනා වෙනුවෙන් ගෞරවය දැක්වීම සඳහා නිර්මාණය කරන ලද්දකි.

 

10. නල්ලූර් කෝවිල

 

යාල්පාන වෛපව මලෛට අනුව මෙම කෝවිල 13 වන සියවසේදී යාපනයේ කාලිංග මාඝ රජතුමාගේ ඇමතිවරයෙකු වූ පුවෙනක වාහු විසින් සංවර්ධනය කරන ලදී. තුන්වන නල්ලුර් කන්දස්වාමි කෝවිල ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම යාපනය රාජධානිය පාලනය කල සපුමල් කුමාරයා විසින් කරන ලදී. නල්ලුර් කෝවිල ආසන්නයේ රජ මාලිගාව පිහිටා ඇති අතර නල්ලුර් යාපනයේ රජවරුන්ගේ අගනුවර ලෙසද සැලකේ. නල්ලුර් පිවිසුම් ගේට්ටු හතරකින් ඉදිකර ඇත.

 

11. නිලාවරී නාවක්කන්නි ලිඳ

නාවක්‌කන්නි ළිඳ පිහිටි සීමාව අඩි පනහක පමණ සාමාන්‍ය දිග පළලකින් යුතුය. එම ළිඳ වට කර ළිං බැම්මක්‌ ඉදිකොට ඇත. එක්‌ පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක්‌ වෙයි. එම පඩි පෙළ දිගේ අඩි විස්‌සක්‌ පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට යැමට හැක. එය ඉතා බියකරුම අත්දැකීමකි. රාම-රාවණා යුද්ධය අතරවාරයේ රාම කුමරුන් සීතා කුමාරියත් යාපනය නිලාවරි ගම පිිහිටි ප්‍රදේශයේද නතර වී සිට ඇත. එහි දී සීතා දේවියට දිය පිපාසයක් ඇතිවිය. රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන ඇත. එහිදී හෑරුනු ළිඳ අද නාවක්කන්නි ළිඳල ලෙසට ඇතමෙක් විශ්වාස කරති. එමෙන්ම බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්ථානයේද මඳක් විවේක ගත් බවට විශ්වාසයක් පවතී, බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්‍රවාද පවසයි. කෙසේ වෙතත් මෙම ස්ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්නට ඇත. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

 

12. පේදුරුතුඩුව

පේදුරුතුදුවද යාපනයේ සංචාරය කරන සංචාරකයින් නොවරදවාම යන ස්ථානයකි. ලංකාවේ උතුරු කෙලවරේම ඇති ස්ථානයයි.

 

13. යාපනය මහජන පුස්තකාලය

තාන්‍ය පාලන යටතේ 1933 වසරේදී ඉදිකොට නිමකරන ලදි. රටේ විශාලම පුස්තකාලය රටේ අගනුවර වූ කොළඹ හෝ රටේ මධ්‍ය ප්‍රාදේශය වූ මහනුවර ඉදිනොකර බහුතරයට ලඟාවීම දුශ්කර, රටේ එක් අන්තයක ඉදිතිරීම එවක පාලනයේ පාර්ශවික බව සහ දැණුම බෙදීයාමේ විශමතාවය පෙන්නුම් කරන්නක් බවට මතයක් පැතිරිනි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ සිංහල ජනයා ද්‍රවිඩ ජනයාට යටපත්ව තබාගැනීම ඊට එක් හේතුවක් වියහැක. 1980 දශකය මුල් කාලයේදී 97,000 කට අධික ග්‍රන්ථ සහ අත්පිටපත් ප්‍රමාණයක් තුබූ ආසියාවේ විශාලම පුස්තකාල වලින් එකක් යැයි සඳහන් වෙයි. කෙසේ නමුත් එම කාලය තුල ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන් සිදුවීම් වල ප්‍රතිපලයක් ලෙස, අන්තවාදීන් පිරිසක් විසින් 1981 වසරේදී යාපනය පුස්තකාලයට ගිනි දැල්වූ අතර, එමගින් පුස්තකාලය සතුව තිබූ වටිනා ග්‍රන්ථ රාශියක් විනාශ වී ගිය බව සඳහන් වෙයි. විනාශ වී ගිය පුස්තකාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2001 වසරේදී සම්පූර්ණ කෙරිණි.

 

14. රියෝ අයිස්ක්‍රීම්හල

රියෝ අයිස්ක්‍රීම් යාපනයේ ජනප්‍රියම අයිස්ක්‍රීම්හලයි. යාපනයේ සංචාරය කරන බොහෝ දෙනෙකු නොවරදවාම යන ස්ථානයක් ලෙස මෙය ප්‍රකටයි

 

 

 

 

 

 

 

 copied.. lifie.lk